අත්අඩංගුවේ සිටි තලේබාන් නායකයන් හත් දෙනකුට නිදහස ලබා දීමට පාකිස්තාන රජය පසුගියදා තීරණය කළේය.

පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ රජය එම තීරණය ගත්තේ, වසර ගණනාවක් තිස්සේ එරට ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමේ අරමුණිනි.

තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා පවත්වා, පවතින අර්බුදයට දේශපාලන විසඳුමක් සොයා දීමට කැප වීම අගමැති ෂරීෆ්ගේ ඡන්ද පොරොන්දුවකි. 
ෂරීෆ් සහ ඔහුගේ රජය සාමය වෙනුවෙන් කැප වන්නේ නම්, සාම සාකච්ඡා පැවැත්වීමට තමන් ද සූදානම් බව පාකිස්තාන තලේබාන් නායකයන් පවසා ඇත. පාකිස්තාන රජය සාම කතා ආරම්භ කිරීමට සූදානම් වන්නේ ඒ අනුවය.

තලේබාන් සංවිධානය හිසරදයක් වී ඇති ඇෆ්ගනිස්තානය ද මේ වනවිටත් එම සංවිධානය සමඟ සාම සාකච්ඡා ආරම්භ කර ඇත. ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීම සඳහා, එරට රජයට හැකි සෑම අයුරින්ම සහාය දෙන බව ද පාකිස්තාන අගමැති ෂරීෆ් පවසා ඇත.

දෙරටටම ගැටලූවක් ව ඇති තලේබාන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට අගමැති ෂරීෆ්ගේ ආරාධනාවෙන්, ඇෆ්ගන් ජනපති කර්සායි පසුගියදා පාකිස්තානයට පැමිණ සාකච්ඡා පැවැත්වීය.