නේපාලයට ඇද හැළෙන මහ වැසි හේතුවෙන්, එරට බටහිර කඳුකරබද ප‍්‍රදේශවල ගම්මාන දෙකක් ඊයේ (20) නායයෑමට ලක් වූ අතර, ගම් වැසියෝ විසි දෙදෙනෙක් පණ පිටින් වැළැලූණහ.
පස් තට්ටු යට සිරවුණු පිරිස් සොයමින් ඊයේ සවස් වන තුරු සෝදිසි මෙහෙයුම් සිදුවුවත් නොකඩවා ඇද හැළෙන වර්ෂාව නිසා ඊට බාධා එල්ල වූ බව බලධාරීහු පවසති.
මෝසම් වැසි සමය උදා වීමත් සමඟ මහ වැසි ඇදහැළෙන්න වූ අතර, කාලගුණ විද්‍යා බලධාරීන් ජනතාවට අනතුරු අඟවා ඇත්තේ අවදානම් ප‍්‍රදේශවලින් වහා ඉවත් වන ලෙසය.
බටහිර නේපාලයේ, ගංගා පිටාර ගැලීමෙන් තවත් ගම්මාන 10 ක් පමණ මුළුමනින්ම විනාශ වී ඇති අතර ලක්ෂයක පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇත.
කාලගුණ විද්‍යා බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ ඉදිරි තෙදින පුරා ද දිගටම මහ වැසි ඇදහැළීමේ අවදානමක් පවතින බවය.
නේපාල රජය පැවැසුවේ විපතට පත් වූවන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට ඇමෙරිකන් ඩොලර් 425 ක් (නේපාල රුපියල් 40,000 ක්* ලබා දීමට තීරණය කර ඇති බවය.
විපතට පත්වූවන් වෙනුවෙන් සහනාධාර ලබා දීම කඩිනමින් සිදු කරන බව නේපාල ස්වදේශ කටයුතු අමත්‍යාංශය නිවේදනය කර ඇත. ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් මාර්ග විනාශ වීමෙන් කොටු වූ පිරිස් බේරා ගැනීමට ගුවන් හමුදාව කටයුතු කළ අතර ඒ සඳහා හෙලිකොප්ටර් යානා ද යොදා ගත් බව නේපාල රජය පවසා ඇත.
මෝසම් වැසි නිසා අසල්වැසි ඉන්දියාවට ද දැඩි බලපෑම් එල්ල වී ඇත. ඉන්දියාවේ සිදුවුණු ජල ගැලීම් සහ නායයෑම්වලින් මියගිය ගණන 140 තෙක් ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.