පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නඟන පාකිස්තාන දැරිය මලාලා යූසොෆ්සායිට ලිපියක් යවමින්, ‘තරීක් ඊ තලේබාන්’ සංවිධානයේ නායකයකු වන අඞ්නාන් රෂීඞ් පවසා ඇත්තේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ  මලාලා දැරිය එම සංවිධානයේ සටන්කාමියකුගේ වෙඩි ප‍්‍රහාරයට ලක්වීමේ සිද්ධිය දැන ගැනීමෙන් තමා දැඩි ලෙස කම්පනයට පත් වූ බවය.
පාකිස්තානයේ කි‍්‍රයාත්මක ‘තරීක් ඊ තලේබාන්’ සටන්කාමී සංවිධානය, මලාලාට වෙඩි තැබුවේ ඇයි ද යන්න ද එම ලිපියේ පැහැදිලි කර ඇත. මලාලාගේ නමට ලිපිය ලැබී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයටය.
ලිපියේ සඳහන් වන්නේ තලේබාන්වරුන් මලාලාට වෙඩි තැබුවේ ඇය පාසල් ගිය නිසාම නොව, බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගූ නිසා බවය.
ඇය වෙඩි ප‍්‍රහාරයකට ලක් වීම ගැන තමා කනගාටු වන බවත් එසේ නොවුණා නම් හොඳයි යැයි තමාගේ විශ්වාසය බවත් අඞ්නාන් රෂීඞ් සඳහන් කර ඇත. කෙසේ නමුත් රෂීඞ්, මලාලාගෙන් සමාව ඉල්ලා නැත.
රෂීඞ්, එම ලිපිය මලාලාට යැව්වේ, මලාලා ඉකුත් 12 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණ බාලිකාවනට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සම්බන්ධයෙන් පැවැත් වූ විශේෂ දේශනයෙන් පසුවය.
ඇය එම දේශනය පැවැත්වූයේ ලෝකයේ රටවල් රැසකින් පැමිණ සිටි යොවුන් නායකයන් 500 දෙනකු අමතමිනි.
බාලිකා අයිතීන් වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් සටන්කාමීන් අතින් වෙඩි ප‍්‍රහාරයකට ලක්වී, බි‍්‍රතාන්‍යයේදී ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ, මලාලා යූසොෆ්සායි වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජූලි 12 වැනිදා ‘මලාලා දිනය’ ලෙස නම් කර ඇත. මලාලාගේ උපන්දිනට යෙදී ඇත්තේ ද එදිනටය. ඉකුත් 12 වැනිදා ඇය සැමරුවේ ඇගේ 16 වැනි උපන් දිනයයි.

අඞ්නාන් රෂීඞ් (වමේ) සහ මලාලා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී යොවුන් නායකයන් අමතමින්...