ඇමෙරිකානු ඉතිහාසයේ ප්‍රථම වතාවට, ධුරය හොබවන ජනාධිපතිවරයකුගේ අත්සන එරට මුදල් නෝට්ටු මත මුද්‍රණය කිරීමට තීරණය කර ඇතැයි එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ අනුව, ඉදිරියේදී නිකුත් කෙරෙන ඇමෙරිකානු ඩොලර් නෝට්ටුවලට භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට්ගේ අත්සන මෙන්ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්සන ද සටහන් වනු ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් සංවත්සරය සැමරීම වෙනුවෙන් මෙම සුවිශේෂී පියවර ගන්නා බව භාණ්ඩාගාරය පැහැදිලි කර ඇත.

1861 වසරේ සිට පැවත එන සම්ප්‍රදායට අනුව ඇමෙරිකානු මුදල් නෝට්ටුවල සටහන් වූයේ එරට භාණ්ඩාගාර නිලධාරීන්ගේ අත්සන් පමණි. ට්‍රම්ප් පරිපාලනයේ මෙම නව තීරණයත් සමඟ එම වසර 160කට අධික පැරණි සම්ප්‍රදාය නිමාවට පත්වනු ඇතැයි පැවැසෙයි. ජනාධිපතිවරයාගේ අත්සන සහිත ප්‍රථම ඩොලර් 100 නෝට්ටු කාණ්ඩය එළඹෙන ජූනි මාසයේදී මුද්‍රණය කිරීමට සැලසුම් කර ඇති අතර අනෙකුත් නෝට්ටු ද අනුපිළිවෙලින් නිකුත් කිරීමට නියමිත යැයි භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පැහැදිලි කර ඇත.

කෙසේ වෙතත්, මෙම තීරණය දේශපාලන විවේචනයට ද ලක්ව ඇති බව ඇමෙරිකානු මාධ්‍ය පවසයි. කැලිෆෝනියා ප්‍රාන්ත ආණ්ඩුකාර ගැවින් නිව්සම් උපහාසයෙන් යුතුව පෙන්වා දී ඇත්තේ, භාණ්ඩ හා සේවා මිල ඉහළ යෑම හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට, තමන්ගේ ආර්ථික දුෂ්කරතාවලට වගකිව යුත්තේ කවුදැයි මුදල් නෝට්ටුව දෙස බැලූ සැනින් දැන් හඳුනාගත හැකි වනු ඇති බවය.

නිදහස් සංවත්සරය වෙනුවෙන් ට්‍රම්ප්ගේ රුව සහිත කැරට් 24 රන් කාසියක් නිකුත් කිරීමට ද ඇමෙරිකන් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ මීට පෙර අනුමැතිය හිමි විය.

කොවිඩ් වසංගත සමයේදී ඇමෙරිකානු වැසියන්ට ලබා දුන් සහන චෙක්පත්වල ද ට්‍රම්ප්ගේ නම සටහන් කර තිබුණු බව ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙයි.

රජයේ විවිධ වැඩසටහන් සමඟ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ නාමය සන්නාමගත කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ගේ අදහසය.