ඇමෙරිකා හමුදා සහ රාජ්‍ය රහස් ලොවට හෙළි කිරීමෙන් ඇමෙරිකාවේ උදහසට ලක් වී, ස්වීඩනයට පිටුවහල් වීමෙන් වැළැකී, බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවල් ලැබ සැඟවී සිටින විකිලීක්ස් වෙබ් අඩවියේ සංස්කාරක ජුලියන් ඇසෙන්ජ් සම්බන්ධයෙන් එක්වදෝර් රජය සමඟ යළිත් වරක් සාකච්ඡා කරන බව බි‍්‍රතාන්‍ය රජය පවසයි.

බි‍්‍රතාන්‍ය රජය මේ බව කියා සිටියේ ඇසෙන්ජ්ගේ ‘විකිලීක්ස්’ වෙබ් අඩවියට ඇමෙරිකා හමුදාවේ රහස් තොරතුරු ලබා දුන්නැයි චෝදනා ලැබ මීට තෙවසරකට පෙර අත්අඩංගුවට ගත් ඇමෙරිකා සෙබළ බ‍්‍රැඞ්ලි මෑනිංගේ නඩු විභාගය පෙරේදා (3) ඇරැඹීමත් සමඟය.

ස්වීඩන ජාතික කාන්තාවන් දෙදෙනක දුෂණය කළේ යැයි ඇසෙන්ජ්ට චෝදනා එල්ල වී ඇත. ඒ සම්බන්ධයෙන් ස්වීඩනයේ නඩු විභාගයක් ද පැවැත්වෙයි. ඇසෙන්ජ් තමන්ට බාර දෙන්නැයි ස්වීඩන රජය බි‍්‍රතාන්‍ය රජයට දන්වා ඇති අතර බි‍්‍රතාන්‍ය අධිකරණය ඇසෙන්ජ් ස්වීඩනයට පිටුවහල් කිරීමට අණ කළේය. ඒ, මීට මාස කිහිපයකට පෙරදීය.

ස්වීඩනයට පිටුවහල් වීමෙන් වැළැකී, ඇසෙන්ජ් බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි දකුණු ඇමෙරිකානු රාජ්‍යයක් වන, එක්වදෝරයේ තානාපති කාර්යාලයට ගොස් එහි ආරක්ෂාව පැතුවේය. පිටතට පැමිණියහොත් ඔහු අත්අඩංගුවට ගැනීමට බි‍්‍රතාන්‍ය පොලිසිය සූදානමින් සිටී.