තාක්ෂණික දියුණුවෙන් ලොව ඉදිරියෙන්ම සිටින රටක් වන්නේ ජපානයයි. දැන්, තාක්ෂණය, සියවස් ගණනාවක් පැරණි ආගමික සම්ප්‍රදායන් සමඟ මුසු කිරීමට ජපන් පර්යේෂකයන් සමත් වී ඇත. ජපානයේ බෞද්ධයන් සංඛ්‍යාව මිලියන 83 ත් 87 ත් අතර (ජනගහනයෙන් සියයට 46ක් පමණ) අගයක් ගනී. 

එසේ වුවත්, සැලකිය යුතු පිරිසක් බුද්ධාගම අදහන්නේ හුදු ආගමකට වඩා සාම්ප්‍රදායික සංස්කෘතිකාංගයක් ලෙසය. මේ නිසාම, ජපානයේ බෞද්ධ විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලාගේ හිඟයක් පවතී. මීට පිළියමක් වශයෙන්, කෘතිම බුද්ධියෙන් (AI) ක්‍රියාත්මක වන මානවරූපී රොබෝවකු හඳුන්වා දීමට පර්යේෂකයන් සමත් වී ඇත.

මේ රොබෝ කියෝතෝ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ශිල්පීන්ගේ නිර්මාණයකි. Teraverse සහ XNOVA යන තාක්ෂණික සමාගම්වල මේ සඳහා භාවිතයට ගෙන ඇත. මෙම රොබෝ භික්ෂුව පසුගියදා කියෝතෝ නුවර ඓතිහාසික ෂොරෙන්-ඉන් (Shoren-in) විහාරස්ථානයේදී නිල වශයෙන් එළිදැක්වීම සිදුවිය.

රොබෝ නම් කර ඇත්තේ 'බුද්ධරොයිඩ්' (Buddharoid) යනුවෙනි. සාමාන්‍ය භික්ෂූන් වහන්සේ නමක් මෙන්, මිනිසුන්ට අධ්‍යාත්මික මගපෙන්වීම් ලබා දීමට සමත් වන ලෙස රොබෝ නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. බුද්ධරොයිඩ්ගේ මොළය ලෙස ක්‍රියා කරන්නේ 'BuddhaBot-Plus' නම් පද්ධතියයි. මෙය, අප කවුරුත් දන්නා ChatGPT ඇසුරින් නිර්මාණය කරන ලද, ජෙනරේටිව් AI (Generative AI) මාදිලියකි.