භාවිතයෙන් අත්හැර දමන ලද ටොන් එකක් පමණ බරැති චන්ද්‍රිකාවක් පෘථීවියට කඩා වැටීමේ අවදානමක් ඇතැයි යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය පවසයි.

එහි විද්‍යාඥයින්ට ඇති ගැටලූව වන්නේ චන්ද්‍රිකාව කිනම් ප්‍රදේශයකට කඩා වැටේදැයි නිශ්චිතවම සොයාගැනීමට අපහසු වී තිබීමයි.

අභ්‍යාවකාශයේ සිට පෘථීවි වායුගෝලය ඔස්සේ පැමිණීමේදී චන්ද්‍රිකාවේ බොහෝමයක් කොටස් ගිනි ගෙන දැවී යා හැකි වුවත් සැළකිය යුතු බරකින් යුත් කොටස් ප්‍රමාණයක් පොළවට කඩා වැටීමේ අවධානමක් ඇතැයි විද්‍යාඥයෝ කියති.

නමුත් කිසිවකු බිය විය යුතු නැතැයිද චන්ද්‍රිකාවේ කොටස් කෙනෙකුගේ හිසේ වදිනවාට වඩා වැඩි සම්භාවිතාවක් පවුම් ලක්ෂ ගණනක් දෙන ලොතරැයි දිනීමකට ඇතැයිද ඔවුන් පවසයි.

මෙම චන්ද්‍රිකාව පෘථීවියේ ගුරුත්ව ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන පර්යේෂණ කටයුතු සදහා අභ්‍යාවකාශය වෙත යවනු ලැබූවක් බව සදහන්ය.