තමන්ට සිදුවන කුරිරු වධ බන්ධනවලට එරෙහිව ග්වන්තනාමෝ බේ සිර කඳවුරේ රැඳෙවියන් ආරම්භ කළ උපවාසයට ඊයේ (8) මාස 6 ක් සපිරුණි.
ග්වන්තනාමෝ බේ සිර කඳවුර පිහිටා ඇත්තේ කියුබාවේ කෙළවරක ඇමෙරිකා පාලනයට නතු ප‍්‍රදේශයේ ඇමෙරිකා නාවික කඳවුරකය. එම කඳවුර පවත්වාගෙන යෑම වෙනුවෙන් ඇමෙරිකාව කියුබාවට මුදල් ද ගෙවයි.

ඇමෙරිකා රජය ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී, අත්අඩංගුවට ගන්නා ත‍්‍රස්ත සැකකරුවන් රඳවා තැබෙන්නේ මෙම ග්වන්තනාමෝ බේ සිරකඳවුරේය.

ඔවුන්ගෙන් බොහෝ දෙනා මුස්ලිම් ජාතිකයෝය. වසර ගණනක් තිස්සේ එහි සිරගත කර සිටින ඇතැම්හු නිරන්තරයෙන් කුරිරු වධ බන්ධනවලට ලක් වෙති.
උපවාසයට රැඳෙවියෝ 100 දෙනෙක් එක් වී සිටිති. උපවාසය ආරම්භ කළ අවස්ථාවේ සිට බන්ධනාගාර නියාමකවරු එම පිරිසට බලෙන් කෑම කවති. රාමදාන් සමය උදා වුණු අවස්ථාවේදී පවා ඔවුන්ට බලෙන් ආහාර කැවූ බවට චෝදනා එල්ල වී ඇත.

තමන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන්නේ හෝ නඩු විභාග පවත්වන්නේ හෝ නැතිනම් තමන් වහා නිදහස් කරන ලෙස රැඳෙවියෝ ඉල්ලා සිටිති.
ග්වන්තනාමෝ බේ බන්ධනාගාරය පවතින්නේ ඇමෙරිකානු හමුදා පාලනය යටතේය. එහි නියාමකවරු හමුදා භටයෝය.

ග්වන්තනාමෝ බේ බන්ධනාගාරය වසා දමන්නැයි ඇමෙරිකා මානව හිමිකම් සුරැකීමේ සංවිධාන ජනපති බැරැක් ඔබාමාගේ රජයට නිරන්තරයෙන් බල කර සිටී. රැඳෙවියන් නිදහස් කිරීම ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන එහෙයින් එය කළ නොහැකි බව ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසා ඇත.