ගුවන් මගියන්ට ගුවනේදී ජංගම දුරකථන හා ඔවුන් සතු වෙනත් ඉලෙක්ට්‍රෝනික උපකරණ භාවිතා කිරීමේ අවසරය ලබා දීමට යුරෝපයේ ක්‍රියාත්මක ගුවන් සේවයන් සැරසෙයි.

පෙර පැවති මතය වූයේ ගුවනේදී ජංගම දුරකථන හෝ වෙනයම් ඉලෙක්ට්‍රෝනික උපකරණයක් භාවිතා කළහොත් ඒවායින් නිකුත් වන තරංග  ගුවන් යානයේ පරිගණක පද්ධතියට හානි සිදු කරයි යන්නයි.

නමුත් යුරෝපයේ ගුවන් ආරක්ෂණ කටයුතු වෙනුවෙන් පෙනී සිටින යුරෝපා ගුවන් ආරක්ෂණ ඒජන්සිය සිදුකර ඇති පරීක්ෂණ ගණනාවකින් ජංගම දුරකථන හෝ ඉලෙක්ට්‍රෝනික උපකරණ භාවිතයෙන් ගුවන් යානයේ පරිගණක පද්ධතියට බලපෑමක් ඇති නොවන්නේයැයි හෙළිවී තිබේ.

ඇමරිකාවේ ක්‍රියාත්මක ගුවන් සේවා දැනටමත් තම මගියන්ට මෙම අවසරය ලබා දී ඇති අතර යුරෝපයේ ක්‍රියාත්මක ගුවන් සේවයන් එළැඹෙන දෙසැම්බර් මාසයේ සිට මගියන්ට ගුවනේදී ජංගම දුරකථන භාවිතා කිරීමට අවසරය දෙනු ඇතැයි සදහන්ය.

බලධාරීන් අවසරය ලබා දුන්නද එය ක්‍රියාත්මක කිරීමේ අයිතිය ඇත්තේ ගුවන් සේවයන් අත වන අතර මෙය මුදල් ඉපැයීමේ නව මාර්ගයක් බවට පත් කර ගැනීමට ගුවන් සේවයන් සැරසුණහොත් එහි පුදුමයක්ද නැත.