නවදිල්ලි නුවරදීය (ඬේලිමේල් ඇසුරිනි)
ගංගා නදිය පිටාර ගැලීමෙන් හටගත් ජල ගැලීම් සහ නායයෑම් නිසා ඉන්දියාවේ උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ මියගිය ගණන 600 තෙක් ඉහළ ගොස් ඇතැයි ප‍්‍රාන්ත බලධාරීහු පවසති.
ගංගා නදිය පිටාර ගැලීමට පටන් ගත්තේ මීට සතියකට පමණ පෙර සිටය. ඒ, ඉන්දියාවට මෝසම් වැසි සමය උදා වීමත් සමඟය. ඉකුත් වසරවලට වඩා මේ වසරේ අධික වර්ෂාපතනයක් ලැබුණු බව ඉන්දීය කාලගුණ විද්‍යාඥයෝ පවසති.
ගංගා නදිය පිටාර ගැලීමත් සමඟ හටගත් සැඬ රළ පහර, සුනාමියක් සේ උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ දිස්ති‍්‍රක්ක කිහිපයකට කඩා වැදී නගර රැසක් මුළුමනින්ම විනාශ කළ බව ද වාර්තා විය.
සැඬ පහරට හසුවීමෙන් පාලම් පහක් කැඞී ගොස් ඇත. කඳු නාය යෑමෙන් මාර්ග අවහිර වී ඇත. ජල ගැලීම් සහ නායයෑම් නිසා හිමාල කඳුකරයට පැමිණ සිටි හින්දු වන්දනාකරුවෝ දහසකට වැඩි පිරිසක් විවිධ ස්ථානවල කොටුවූහ.
ඉන්දීය හමුදාව හෙළිකොප්ටර් යොදා ගනිමින් එම පිරිස් බේරා ගත් බව වාර්තා විය. නිවාස අහිමිවීමෙන් ලක්ෂයකට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි උත්තරකාන්ද් මහ ඇමැති විජය බගුනා පවසා තිබේ.
මේ වනවිට වර්ෂාව අඩු වී ගංගා නදියේ ජල මට්ටම ද කෙමෙන් කෙමෙන් පහව යමින් පවතින අතර ගං ඉවුරේ මඩ තට්ටු අතර මළ සිරුරු ගොඩගසා ඇති බව ඉන්දියාවේ එන්.ඞී.ටීවී පුවත් සේවය ඊයේ (23) වාර්තා කළේය. විපතට පත්වූවන්ට සහනාධාර ලබා දීම ද ලහිලහියේ සිදුවන බව ඉන්දීය මධ්‍යම රජය කියා සිටී.