පාකිස්තානයේ වෙළෙඳ නගරය ලෙස සැලකෙන කරච්චියේ ඉකුත් 21 වැනිදා සිදුවුණු බෝම්බ පිපිරීමකට සිව් දෙනෙක් බිලි වූහ. එම බෝම්බයට හසු වී තුවාල ලැබූ ගණන 12 කි.
බෝම්බ ප‍්‍රහාරය පුපුරා ගියේ පටෙල් පාරා නමැති ප‍්‍රදේශයේය. එය අධි බලැති බෝම්බයක් වූ බවත්, එය පුපුරා යෑමෙන් අසල පිහිටි ගොඩනැගිලි සහ වාහන රැසකට හානි සිදුවුණු බවත් කරච්චි පොලිසිය පවසයි.
කරච්චියේ ආගමික, වාර්ගීක සහ දේශපාලනික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිළී යෑම ඇරැඹුණේ, මීට වසර කිහිපයකට පෙර ය. පසුගිය පාකිස්තාන මහ මැතිවරණයෙන් පසු එම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දකින්න ලැබුණි.
ඉකුත් 11 වැනිදා, කරච්චියේ සිදුවුණු බෝම්බ පිපිරීමකින්, ජනපති අසීෆ් අලී සර්දාරිගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරී බිලාල් ෂයීක් ඇතුළු තවත් ආරක්ෂක අංශ නිලධාරීහු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බෝම්බ ප‍්‍රහාරය එල්ල වූයේ බිලාල් ෂයීක් සහ සෙසු ආරක්ෂක නිලධාරීන් ගමන් කළ මෝටර් රථ පෙළටය.
එම අවස්ථාවේදී කරච්චි ආරක්ෂක අංශ මෙන්ම ජනපති සර්දාරිගේ පාකිස්තාන ජනතා පක්ෂය ද චෝදනා කළේ එය තලේබාන් සටන්කාමීන්ට හිතවත් සටන්කාමී කල්ලියක් විසින් සිදු කරනු ලබන්නට ඇති බවටය.