
ඕස්ට්‍රේලියා මැතිවරණයෙන්, වාමාංශික කම්කරු පක්ෂයට ජය හිමිවිය. ඒ අනුව, කම්කරු පක්ෂ නායක ඇන්තනි ඇල්බනීස් තවදුරටත් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇත.
ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයකුගේ ධුර කාලය වසර තුනක් වන අතර, දශක දෙකකට පසු, පිටපිට දෙවරක් ධුරයේ රැඳී සිටීමට හැකිවුණු පළමු ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා වන්නේ ඇල්බනීස් යැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කොන්සවර්ටිව් පක්ෂය සහ එහි නායක පීටර් ඩටන්ගෙන් අභියෝගයක් එල්ල වේවි යැයි අනුමාන කළත්, කම්කරු පක්ෂය අපේක්ෂා නොකළ අයුරින් පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීම විශේෂත්වයක් විය.
විපක්ෂ නායක ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ ඩටන්ට සිය ආසනය පවා අහිමි විය. තමන් පරාජය බාර ගන්නා බව පීටර් ඩටන් පවසා ඇත්තේ කම්කරු පක්ෂයටත්, පක්ෂ නායක නායක ඇල්බනීස්ටත් සුබ පතමිනි.
ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ආසන 151 කින් සමන්විත අතර, බහුතරය සඳහා ආසන 76 ක් දිනා ගැනීම කළ යුතුව තිබුණි. කම්කරු පක්ෂය දිනාගත් ආසන සංඛ්‍යාව 85 ට වැඩි යැයි පැවැසෙයි.
ජීවන වියදම, සෞඛ්‍ය හා නිවාස ගැටලුව මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත්වී තිබුණි. ගෝලීය අර්බුද හමුවේ, ඒවාට සාර්ථකව මුහුණ දෙමින්, ඕස්ට්‍රේලියානුවන්ගේ අනාගතය ශක්තිමත් කිරීමට තමන් කැපවන බව මැතිවරණ ජයග්‍රහණයෙන් පසු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සිය පාක්ෂිකයන් අමතමින් පැවැසීය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීටර් ඩට්න් එතරම් ඇබොරිජිනියල් (නිළ අයිතිකරුවන්, ස්වදේශිකයින්) වෙනුවෙන් යමක් නොකරන බවත්, යම් ආකාරයකින් සංක්‍රමණිකයින් නවත්වන ආකාරයකුත් පෙනෙන්නට තිබුණා. පීටර් ඩට්න් කොන්සවේටිව් පක්ෂයක නායකයකු නොවේ. වරද නිවැරැදි කරන්න. ඔහු ලිබරල් පක්ෂ නායකයායි. ඇන්තනි ඇල්බනී සේ කළ ජයග්‍රහණය සංක්‍රමණය වන්නට සහ ඉගෙනුම ලබන්නට ඔස්ට්‍රේලියාවට එන්නට ඉන්න අයට ලොකු දෙයක්. තව පොඩ්ඩෙන් ඩට්න් දිනුවා නම් සෙත්තපෝච්චි තමයි. කොහොම හරි, තියෙන ආර්ථික ප්‍රශ්න යම් ආකාරයකට හෝ විසඳේවි කියලා හිතනවා. ලංකාවෙන් එන්න කෙනෙක් ඉන්නවා නම්, කාර්මික වැඩක් හරි හරියට ඉගෙනගෙන වරෙල්ලා මෙහේ ඇවිත් ජොලි කරන්න හීන මවන්නේ නැතිව. මහන්සි වෙන්න වෙයි ඉස්සරහට ගොඩාක්. හැබැයි අනාගතය හොඳයි...