සිරියාව සහ ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා අනුගමනය කරන ප‍්‍රතිපත්ති, සෞදි රජ පවුලේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී ඇත.

මේ හේතුව නිසා, ඇමෙරිකාවත් සෞදියත් අතර පවතින මිතුදම් සහ තෙල් ගනුදෙනුවලට බාධා වනු ඇතැයි  දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
වසර දෙකක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින සිරියා අර්බුදයේදී, සිරියානු රජය පෙරැළීමට එරට කැරැලිකරුවන්ට ඇමෙරිකාව සහාය දෙතියි යන්න සෞදි රජයේ අපේක්‍ෂාව විය.

කෙසේ නමුත්, සිරියානු රජයට සහාය දක්වන රුසියාව මැදිහත් වී, සිරියානු රජයේ කැමැත්ත සහ ඇමෙරිකාවේ අනුමැතිය ලබාගෙන එරට රසායනික අවි අන්තර් ජාතික පාලනයකට නතු කොට ඒවා විනාශ කිරීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රසායනික අවිහරණ කමිටුවට අවස්ථාව ලබා දුන්නේය.

ඒ නිසා ඇමෙරිකා ජනපති ඔබාමා, සිරියාවට පහර නොදුන්නේය. සිරියානු කැරැලිකරුවන්ට හෝ විපක්ෂ කණ්ඩායම්වලට බලය අත්පත් කර ගැනීමට නොහැකි විය.

සිරියා අර්බුදය උත්සන්න වී, තෙවැනි ලෝක යුද්ධය තෙක් එය දුරදිග යෑමට ආසන්න වෙද්දී, සිරියානු ජනාධිපති අසාද්ගේ රජයට සහාය නොදක්වන්නේ නම්, ඒ වෙනුවෙන් රුසියානු රජය සමඟ ප‍්‍රධාන පෙළේ අවි ගනුදෙනු ඇතිකර ගැනීමටත්, එරට ගෑස් අලෙවියට අභියෝගයක් නොකිරීමටත්, රුසියාව සිරියාවේ පවත්වා ගෙන යන නාවික කඳවුර මැදපෙරදිග කලාපයේ දිගටම පවත්වාගෙන යෑමට ඉඩ සලසා දීමටත් සෞදි රජය සූදානම් විය.

ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය යන බටහිර බලවතුන්ට සිරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීමට බාධාවක් වී සිටියේ රුසියාවය.  රුසියාව සිරියානු රජයට සහාය දීම නැවැත්තුවහොත් සිරියාවට පහරදීමට බටහිර රටවලට හැකියාව ලැබීමට ඉඩ තිබුණි.

රුසියාව සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දක්වන්නේ, සිරියාව රුසියාවේ ප‍්‍රධාන අවි ගනුදෙනුකරු පමණක් නිසාම නොවේ, මැද පෙරදිග කලාපයේ බලය රඳවා ගනිමින් නාවික කඳවුරක් පවත්වා ගෙන යෑමට රුසියාවට අවස්ථාවක් උදා කර දීමට සිරියානු ජනපති අසාද්ගේ රජය කටයුතු කරන නිසාය.

ඇමෙරිකාවේ සමීපතමයකු  වන සිටි, සෞදි අරාබියේ බුද්ධි අංශ ප‍්‍රධානී බන්ඩාර් බින් සුල්කාන් කුමරු රහසේම රුසියාවේ මොස්කව් අගනුවරට ගොස්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවී, රුසියාවට ආර්ථික දිරිගැන්වීම් කරන බවට පොරොන්දුවක් ද ලබා දුන් බව පසුව අනාවරණය විය.

සිරියාව, ඉරානය සහ ලෙබනනය යන රටවල් අස්ථාවර වුවහොත්, මැදපෙරදිග කලාපයේ බලය තව තවත් වර්ධනය කර ගැනීමට සෞදියට හැකියාව ලැබේ.
ඉරානය පසුගිය කාලවකවානුවේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල උදහසට ලක්විය. ඒ, එරට න්‍යෂ්ටික වැඩසටහන මුල්කර ගනිමිනි. ඇමෙරිකාව චෝදනා කර තිබුණේ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් කියාය. ඇමෙරිකාව ඉරානයට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනැවූයේ ද එහෙයිනි.

ඉරාන නව ජනපති, මධ්‍යස්ථමතධාරී හසන් රොව්හානී, න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් වීම නිසා, එම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකාව දැක්වූ ප‍්‍රතිපත්ති ලිහිල් වූ බවක් පෙනී ගොස් ඇත. ඇමරිකාව ඉරානයට බුරුළක් දීම සෞදි රජ පවුලේ විරෝධයට හේතු වී ඇත.