ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට අනතුරක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් සහ එරට නව ජනපතිවරයා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ සම්මේලනයක්, පෙරේදා (20) එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැති අතර එහිදී, ඉන්දියාව ඉරානය වෙනුවෙන් හඬ නැගීය.
පරමාණු බෝම්බ නිපදවා ලොවට අනතුරක් කිරීමට ඉරානයට අවශ්‍ය වූවා නම්, ඔවුන්ට එය කරන්න තිබුණු බවත් එය එසේ නොවුණු බවත් ඉන්දීය නියෝජිත මාරූෆ් රේසා එම සම්මේලනයේදී අවධාරණය කළේය.
ඉරානය පමණක් නොව, ඉන්දියාව ද න්‍යෂ්ටික බලාගාර පවත්වා ගෙන යයි. ඒ, රටේ බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමටය. එහෙත් ඉන්දියාවට, එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික බලශක්ති අධිකාරියේ අනුමැතිය හිමිවී ඇත. ඉරානයට එසේ අනුමැතිය හිමි වී නැත. ඒ, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු සිදු කරන්නේ හිතුවක්කාරී අන්දමින් යැයි චෝදනා එල්ල වී ඇති නිසාය. එම හේතුව නිසා ඇමෙරිකාව ඉරානයට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක යොදා ඇත.
සමුළුවට එක් වී සිටි ඊශ‍්‍රායල සහ ඇමෙරිකා නියෝජිතයන් කියා සිටියේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලෝකට ප‍්‍රබල තර්ජනයක් වනු ඇති බවය. කෙසේ නමුත් ඉකුත් දා පැවැති ජනපතිවරණයෙන් ජයගත් මධ්‍යස්ථ මතධාරී හසන් රොහානී සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානමින් සිටින බව ද ඇමෙරිකාව වැඩි දුරටත් කියා සිටී.