සිරියාවේ ඉකුත් අගෝස්තු මස 21 වැනිදා සිදුවුණ ‘සෙරීන්’ විස වායු ප‍්‍රහාරය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායම සැකැසූ වාර්තාව ඒක පාර්ශ්වයීය වාර්තාවක් බවටත් එය සකසා ඇත්තේ සිරියානු රජයට විරෝධය පළ කරන බටහිර රටවලට ‘වාසි’ ගෙන දෙන අන්දමින් බවටත් රුසියාව චෝදනා කරයි.

සිරියාවේ සිදුවුණු එම රසායනික අවි ප‍්‍රහාරය, සෙරීන් විස වායු ප‍්‍රහාරයක් යැයි එම වාර්තාවෙන් ලොවට තහවුරු විය.

එම අවස්ථාවේදී ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය ඇතුළු බටහිර බලවතුන් කීවේ, ඔවුන් පෙර කළ නිගමන නිවැරදි බවත්, එම ප‍්‍රහාරයට සිරියානු රජය සම්බන්ධ බවත් තහවුරු වී ඇති බවත්ය.

මැදපෙරදිග කලාපයේ විශාලතම සේරීන් විස වායු අවි තොගය ඇත්තේ සිරියානු රජය සතුවය. එමණක් නොව, සිරියානු රජය පෙරැුළීමට සටන් වදින කැරැුලිකාර පාර්ශ්වය සතුව ද සෙරීන් විස වායුව ද ඇතුළුව රසායනික අවි ඇති බව හෙළි වී තිබේ.

එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායම එම වාර්තාව එළිදැක්වූයේ සිරියානු රජයත් රුසියාවත් එක් වී ඇමෙරිකාව සමඟ සාකච්ඡුා කර, සිරියානු රජයේ රසායනික අවි තොග අන්තර් ජාතික පාලනයකට නතු කිරීමට සාකච්ඡා කරගත් අවස්ථාවකදීය.