දෙවන ලෝක යුද සමයේ නාසි වද කදවුරු වල රදවා සිටි රැදවියන් කිහිපදෙනෙකුට අයත්යැයි සැළකෙන ඇදුම් පැළදුම් හා බඩු බාහිරාදිය අන්තර්ජාලයේ ප්‍රකට භාණ්ඩ හුවමාරු හා වෙන්දේසි වෙබ් අඩවියක් වන ඊබේ වෙබ් අඩවිය ඔස්සේ අලෙවි වීම ලොව පුරා ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කිරීමට මුල්වී ඇත.

මෙම ගනුදෙනුව කිසිසේත් සදාචාරසම්පන්න නොවන්නේ යැයි බහුතරයකගේ මතය වී තිබේ. බියකරු නාසි වද කදවුරක දහසකුත් එකක් වද විද මිය ගිය අයෙකුට අයත්ව තිබූ දේ වෙන්දේසි කිරීමට තරම් ඊබේ වෙබ් අඩවිය පහතට වැටුණේ කෙසේදැයි ඔවුන් ප්‍රශ්න කරයි.

පවුම් 5000 සිට 15, 000 දක්වා ඉහළ මිල ගණන් වලට මිල කර තිබී ඇති මෙම භාණ්ඩ හා ඇදුම් පැළදුම් වෙන්දේසියේ මිලදී ගැනීමට සැළකිය යුතු ගැනුම්කරුවන් පිරිසක්ද සිට ඇතැයි සදහන්ය.

උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් වෙබ් අඩවියේ පරිශීලකයින්ගෙන් හා සමස්ථ ලෝක ප්‍රජාවෙන් සමාව ඉල්ලීමට කටයුතු කර ඇති ඊබේ වෙබ් අඩවියේ නියාමකයින් මෙවන් ආන්දෝලනාත්මක බඩුබාහිරාදිය වෙබ් අඩවියේ පවතින්නේ නම් ඒවා සොයා බලා ඉවත් කිරීමට කටයුතු කරගෙන යන බව සදහන් කර තිබේ.

මෙම බඩු බාහිරාදිය විකිණීමට ඇතැයි යැයි ඊබේ වෙබ් අඩවියට දැන්වීම එක්කළ පුද්ගලයාවද සොයාගැනීමට හැකිව ඇත.අනාවරණයව ඇති පරිදි ඔහු එසේ එක්කළ සමහර දෑ වදකාගාර වල සිටි ඔහුගේම නෑදෑයින්ට අයත්ව තිබූ ඒවාය. මේවා විකුණා දැමීමේ කිසිදු වරදක් තමන් දකින්නේ නැතැයි පවසා ඇති හෙතෙම තමන් මේවා විකුණා දැමූයේ පොත් ලිවීම වෘත්තීය කර ගෙන සිටින තමාට අවශ්‍ය මුදල් උපයා ගැනීමට බව කියා ඇත.තවද තමන් සතුව තිඛෙන ඇතැම් ආයිත්තම් ඒවායේ සැබෑ හිමිකරුවන්ට භාරදීමට මෙසේ ඒවා වෙන්දේසි කිරීමෙන් තමාට හැකියාව ලැඛෙන්නේ යැයි ඔහු පවසා තිබේ.

වෙන්දේසියෙන් ලැබීමට නියමිතව තිබූ මුදල් සියල්ල සහන සේවා සංවිධාන වලට ලබා දෙන බවට ඊබේ වෙබ් අඩිවිය ප්‍රතිඥා දී ඇත.