බලයෙන් නෙරපා අත්අඩංගුවට ගත් ජනපති මොහොමඞ් මොර්සි යළි ජනපති ධුරයට පත් කරන්නැයි වත්මන් අන්තර්වාර රජයට බල කරමින්, ඔහුගේ ආධාර කරුවන් සහ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය එක් වී, ඊජිප්තුවේ කයිරෝ සහ ඇලෙක්සැන්ඩ‍්‍රා යන නගරවල පසුගිය දින කිහිපයේ පැවැති විරෝධතා මර්දනයට පොලිසිත් හමුදාවත් යෙදවීම නිසා හටගත් ගැටුම් වලින්  700 මියගිය බවත් 1,330 ක් තුවාල ලැබූ බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මියගිය පිරිස අතර පොලිස් නිලධාරීහු 56 දෙනෙක් ද සිටිති. ඊජිප්තුවේ අගනුවර වන කයිරෝවේත් විශාලතම නගරය වන ඇලෙක්සැන්ඩි‍්‍රයාවේත් ගැටුම් හටගත්තේ විරෝධතා කරුවන්ගේ කඳවුරු ඉවත් කිරීමට අන්තර්වාර රජය පොලිසිය යෙදවීමත් සමඟය.
ඉකුත් සිකුරාදා ගැටුම් උත්සන්න වූ අතර කයිරෝවේ පමණක් මියගිය ගණන 196 ක් යැයි වාර්තා විය. ගැටුම් වාර්තා කිරීමට පැමිණ සිටි විදෙස් මාධ්‍යවේදීහු තිදෙනෙක් ද ජීවිතක්ෂයට පත්වූහ.
මුස්ලිම් සහෝදරත්වය පක්ෂය චෝදනා කර ඇත්තේ පොලිසිය, සිත්පිත් නැතිව අමු අමුවේ මිනීමැරූ බවත් මහා මානව සංහාරයක් සිදු කළ බවත්ය. පොලිස් නිල ඇඳුමින් පැමිණි පිරිස් නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තබන දසුන් මේ වනවිටත් මාධ්‍යවලට ලැබී ඇත.
ඊජිප්තුවේ හමුදා කුමන්ත‍්‍රණය සිදුවුණේ ඉකුත් ජූලි 3 වැනිදාය. බලයෙන් නෙරපා දැමීමෙන් පසු මොර්සි ඇතුළු ඔහුගේ රජයේ ජ්‍යෙෂ්ඨයෝ රැසක් හමුදා අත්අඩංගුවට ගැනුණි.
අද වන තෙක් ඔවුන් ගැන ආරංචියක් නැත. ඔවුන් රඳවා තැබෙන්නේ කයිරෝවේ හමුදා මූලස්ථානයේ බව පැවැසිණි.
මොර්සි වහා නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ඊජිප්තු අන්තර්වාර රජයෙන් ඉල්ලා සිටින නමුත් එම රජය ඊට කන් දී නැත.
ඊජිප්තුවේ හමුදා කුමන්ත‍්‍රණයකට මඟ පෑදුණේ ජනපති මොර්සි හඳුන්වා දුන් දේශපාලන ප‍්‍රතිසංස්කරණ සහ නව නීති ජනතාවගේත් එරට විපක්ෂ කණ්ඩායම්වලත් අප‍්‍රසාදයට හේතු වීම නිසාය.
හමුදා ආඥාවක් හරහා මොර්සි බලයෙන් නෙරපා දැමීමෙන් පසු හමුදාපති අල් සීසී කීවේ තමන් දිගටම බලය අල්ලාගෙන සිටීමේ කැමැත්තක් නැති බවත් මාස 6 ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති බවත්ය.
ශ්‍රේෂ්ඨාධිකරණ ව්‍යවස්ථා අධිකරණ අගවිනිසුරු අබ්ලී මන්සූර් භාරකාර ජනපති ලෙස පත් කෙරුණි.
ඊජිප්තු ජනතාවගේ ඉල්ලීම්වලට කන් නොදීම නිසා හමුදාව, ජාතික වගකීමක් සේ සලකා තම යුතුකම ඉටු කළේ යැයි හමුදාපති ජනරාල් අබ්දෙල් ෆාටා අල් සීසී වැඩි දුරටත් කියා සිටියේය.