ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් තම විශ්ව විද්‍යාල 30 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ඉරාන රජය පැවැසීය. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කිරීමේත්, එරට ඉස්ලාමීය පාලනය අවසන් කිරීමේත් අරමුණින් ඉරානයට පහර දෙන්නේ පසුගිය පෙබරවාරි 28 වැනිදා සිටය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත්තේ ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට පියවර නොගන්නේ නම්, ඉරාන අධ්‍යාපන ආයතනවලට පමණක් නොව, පාලම් සහ විදුලි බලාගාර ඇතුළු යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් පහර දෙන බවත් ඉරානය අපායක් බවට පත් කරන බවත්ය.

ඊශ්‍රායලය ඉකුත් 3 වැනිදා උතුරු ටෙහෙරානයේ සහීඩ් බෙහෙෂ්ටි විශ්වවිද්‍යාලයේ ලේසර් සහ ප්ලාස්මා පර්යේෂණායතනය වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් එම මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. මෙය ඉරානයේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයකි.

යුද ගැටුම් ආරම්භ වීමත් සමග විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට ඉරාන රජය තීරණය කර තිබීම හේතුවෙන් ප්‍රහාරය එල්ල වෙද්දී විශ්ව විදයාලයේ සිසුන් නොසිටි බැවින් ජීවිත හානි වාර්තා නොවිණි.

විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතනවලට අමතරව, වසර 100කට වඩා පැරණි පාස්චර් ආයතනය ඇතුළු සෞඛ්‍ය මධ්‍යස්ථාන 20 කට ද ප්‍රහාරයන්ට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය පහර දී ඇත. මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කළ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඉරාන රජයේ දත්තවලට අනුව, මේ දක්වා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් ඉරාන වැසියන් 2,000 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.