ඉරානයේ හිටපු ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් ඊයේ (18) එරට අපරාධ අධිකරණය හමුවට කැඳවනු ලැබුණි. ඒ, ඔහුට එරෙහිව කතා නායක අලී ලාරිජානී සහ තවත් ඇමැතිවරුන් කිහිප දෙනකු කළ පැමිණිල්ලක් හේතුවෙනි.
ජනපති අහමදිනෙජාද්ට එරෙහිව ඇති චෝදනා මෙතෙක් අනාවරණය වී නැත.
ජනපති ධුරයේ සිටිද්දී අහමදිනෙජාද් එරට උත්තරීතර පාලක මණ්ඩලය සමඟ ගැටුම් ඇති කර ගත්තේය. ඉරාන ජනපතිවරයාට එරට උත්තරීතර පාලක මණ්ඩලය අභිබවා යෑමට නොහැකිය.
උත්තරීතර පාලක මණ්ඩලයේ නායකයා වන්නේ උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනිය. අහමදිනෙජාද් අවස්ථා ගණනාවකදී කොමේනී සමඟ මත ගැටුම් ඇති කර ගත්තේය.
අහමදිනෙජාද් ලබන අගෝස්තු මාසයේ දී ජනපති ධුරයෙන් සමු ගැනීමට නියමිත අතර ඉකුත් දා පැවැති ජනපතිවරණයෙන් ජයගත් මධ්‍යස්ථ මතධාරී හසන් රොහානී ජනපති ධුරයේ වැඩ භාර ගැනීමට ද නියමිතය.