ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුල් කොට ගනිමින්, ඉරානය සමඟ ගැටුම් ඇති කර නොගන්නා බවත්, එම න්‍යෂ්ටික වැඩසටහන නිසා හටගත් අර්බුදය රාජතාන්ති‍්‍රක මට්ටමින් විසඳා ගැනීමට කටයුතු කරන බවත් ඇමෙරිකා ජනාධිපති බැරැුක් ඔබාමා එක්සත් ජාතීන්ගේ 68 වැනි මහා මණ්ඩල සැසිවාරය අමතමින් පෙරේදා (24) කියා සිටියේය.

මහා මණ්ඩල සැසිවාරය අමතමින් ඇමෙරිකන් ජනපති ඔබාමා කළ දේශනයට තේමා වූයේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ සිරියානු අර්බුදයයි.

ඉරාන නව ජනපති හසන් රොව්හානී පසුගිය දා තරයේ කියා සිටියේ තම න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් නොවන බවය. ජනපති ඔබාමා, ඉරාන ජනපති හසන් රොව්හානිගේ එම ප‍්‍රකාශය උපුටා දැක්වීමක් ද කළ අතර ඔහු එම අවස්ථාවේදී අවධාරණය කළේ ඉරානය සමඟ යුද ගැටුම් ඇතිකර නොගන්නා බවත් පවතින අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට වෙහෙසන බවත්ය.

මහා මණ්ඩල සැසිය අතරතුරේ ඉරාන ජනාධිපති රොව්හානි සහ ඇමෙරිකා ජනපති ඔබාමා අතරේ හමුවක් පැවැත්වෙනු ඇතැයි බොහෝ දේශපාලන විචාරකයෝ විශ්වාස කළහ. කෙසේ නමුත්, ජනපති ඔබාමා හමුවීම ඉරාන ජනපතිවරයා ප‍්‍රතික්ෂේප කළ අතර, ඔබාමා ද ඉරාන ජනපති හමුවීම ප‍්‍රතික්ෂේප කළ බව වාර්තා විය.

ජනපතිවරුන් අතර හමුවක් නොපැවැත්වුණ ද ඉරාන විදේශ ඇමැති මොහොමඞ් ජවාඞ් සරීෆ්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පමණක් නොව බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් සමඟ ද සාකච්ඡා පැවැත්වීය.

ජෝන් කෙරී සහ ඇමැති ජවාඞ් සරීෆ් අතර මෙම සති අන්තයේදී තවත් සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතය. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ‘විවෘත සාකච්ඡාවක්’ පැවැත්වූ පළමු අවස්ථාව ද මෙයයි.

ඉරානය ගැන නම්‍යශීලීව කටයුතු කළත් සිරියානු අර්බුදය සම්බන්ධයෙන් දිගටම දැඩි ස්ථාවරයක හිද කටයුතු කරන බව ජනපති ඔබාමා කියා සිටියේය. සිරියාවේ සිදුවුණු විස වායු ප‍්‍රහාරයට රජය සම්බන්ධ බව ද ජනපති ඔබාමා කියා සිටියේය.