මතභේදයකට ලක් වී ඇති ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එරට නව රජයේ විදේශ ඇමැති මොහොමඞ් ජවාඞ් සරීෆ් සහ ලෝක බලවතුන් අතර ඊයේ (24) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ඉරාන විදේශ ඇමැතිවරයා ඇමෙරිකා, ප‍්‍රංශ සහ බි‍්‍රතාන්‍ය නියෝජිතයන් හමුවී කියා සිටියේ තම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් විවෘත සාකච්ඡා පැවැත්වීමට තමා සහ රජය සූදානම් කියාය.

ඉරාන ජනපති රොව්හානී ද මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ප‍්‍රංශ  සහ ඇමෙරිකානු ජනාධිපති හමුවීමට සූදානමින් සිටින බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල උදහසට ලක්වූයේ එම වැඩසටහනට මුවා වී ඉරානය පරමානු බෝම්බ නිපදවන බවට චෝදනා කරමිනි. ඉරානය එම චෝදනා ප‍්‍රතික්ෂේප කරයි.

ඇමෙරිකාව ඉරානයට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පනවා ඇත. එම නිසා ඉරානයට ඔවුන්ගේ තෙල් අපනයන කටයුතුවලට ද බාධා එල්ල වී ඇත. ඉරාන ආර්ථිකය ද කඩා වැටීමකට ලක් වී ඇති බව වාර්තා වේ.
 

ඉරාන විදේශ ඇමැති මොහොමඞ් ජවාඞ් සරීෆ් (දකුණේ) බි‍්‍රතාන්‍ය විදේශ ඇමැති විලියම් හේග් හමුවෙමින් ...