දකුණු ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් පුපුරා ගිය බෝම්බ ප‍්‍රහාර මාලාවකින් 47 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 100 කට වැඩිය.
බෝම්බ පුපුරා යෑම ආරම්භ වූයේ පෙරේදා (14) සවස් වරුවේ සිටය. ඊයේ (15) දිනය වෙද්දී පුපුරා ගිය බෝම්බ ප‍්‍රමාණය 15 කි. ඇතැම් බෝම්බ අධි බලැති කාර් බෝම්බ වූ බව ඉරාක ආරක්ෂක අංශ පවසා ඇත.
බෝම්බ පුපුරා ගියේ කුට් නමැති නගරය සහ ඒ ආශි‍්‍රත ප‍්‍රදේශවලය. ප‍්‍රහාර එල්ල කරන්න ඇත්තේ සුන්නි මුස්ලිම් අන්තවාදී සටන්කාමීන් යැයි ඉරාක ආරක්ෂක අංශ අනුමාන කරයි.
ඉකුත් ජූලි පළමු වැනිදා සිට මේ වනවිට ඉරාකයේ සිදුවුණු එම බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයෝ 380 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.
ඉරාකයේ ෂියා සහ සුන්නි මුස්ලිම් අතර ගැටුම් උත්සන්න වූයේ ඇමෙරිකා හමුදා එරටින් පිටවී යෑමෙන් පසු රට නොසන්සුන් වීමත් සමඟය.
ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැවැත්වීමට ඉරාක රජයට හැකියාවක් ලැබී නැත. ජගත් දේශපාලන විශ්ලේෂකයන්  චෝදනා කරන්නේ, ඇමෙරිකාව ඉරාක සංග‍්‍රාමය අවසන් කර පිටවී ගියේ රට අස්ථාවර කරමින් කියාය.