ඉන්දුනීසියාවේ සුමාත‍්‍රා දුපතේ මෙඩන් නුවර ප‍්‍රධාන බන්ධනාගාරයෙන් රැඳෙවියෝ 150 දෙනෙක් පෙරේදා (11) රාති‍්‍රයේ පැන ගියහ.

පලා ගිය පිරිස අතර, ඉන්දුනීසියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට සම්බන්ධව අත්අඩංගුවට ගෙන වරදකරුවන් වී බන්ධනාගාරගත කරන ලද ඉස්ලාමීය ත‍්‍රස්තවාදීහු පිරිසක් ද සිටිති.

රැඳෙවියන් පලා ගියේ සුමාත‍්‍රා දිවයිනේ ටන්ජුන් ගුස්ටා බන්ධනාගාරයෙනි. පලා යෑම සිදුවීමට පෙර බන්ධනාගාරයේ කැරැල්ලක් සහ ගින්නක් ද හටගත්තේය.

ඊට හේතුව වූයේ බන්ධනාගාර නියාමකවරුන් බන්ධනාගාරයේ විදුලි බලය සහ ජලය පැය කිහිපයකට කපා හැරීමට පියවර ගැනීම නිසාය. කැරැල්ලත් සමඟ රැඳෙවියන් සහ නියාමකවරුන් අතර හටගත් ගැටුමින් රැුඳෙවියෝ 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 40 දෙනෙක් තුවාල ලැබූහ.

රැඳෙවියන් පලා ගොස් ඇත්තේ ගින්න නිවා දැමීමට බන්ධනාගාර ගිනි නිවන භටයන් පැමිණි අවස්ථාවේදීය.

බන්ධනාගාරයේ ඉඩකඩ ඇත්තේ රැඳෙවියන් 1,054 දෙනකුට පමණක් වුව ද ගින්න හටගන්නා අවස්ථාවේ එහි රැඳෙවියෝ 2,600 ක් සිටි බව ඉන්දුනීසියාවේ අධිකරණ සහ මානව හිමිකම් සුරැකීමේ අමත්‍යාංශය වෙනුවෙන් එහි ප‍්‍රකාශක ගොන්කැන් රහාරෝ කියා සිටියේය.

පැනගිය රැුඳෙවියන් සොයා පෙරේදා රාති‍්‍රයේම මෙහෙයුම් ඇරැඹිණි. ඊට ඉන්දුනීසියා පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන් 1,000 කට වැඩි පිරිසක් යෙදවිණි. ඊයේ (12) සවස් වනවිට පැනගිය සැකකරුවන්ගෙන් 33 දෙනකු අල්ලා ගැනීමට පොලිසියට හැකි වී තිබුණි.