එක්සත් ජාතීන්ගේ 68 වැනි මහා මණ්ඩල සැසිවාරය සඳහා ඇමෙරිකාවට ගොස් සිටින ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං සහ පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් අතර සුහඳ හමුවක් පෙරේදා (29)  පැවැත්විණි.
 

පාකිස්තානු අගමැති (වමේ) ඉන්දීය අගමැති සමග

එම හමුවේ ප‍්‍රධාන අරමුණ වූයේ ඉන්දු පාකිස්තාන දේශසීමා අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමය. පැයක පමණ කාලයක් අගමැතිවරුන් දෙදෙනා නිව්යෝක් නුවර හෝටල කාමරයකදී හමුවී සාකච්ඡා කළේ යැයි විදෙස් පුවත් වාර්තා කළේය.

දේශසීමා අර්බුදය කඩිනමින් විසඳීමටත් යළිත් වරක් සටන් විරාමයක් ඇති කිරීමත් කෙරෙහි අගමැතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡුා කෙරුණු බව ද පැවැසෙයි.

අගමැති මන්මෝහන් සිං ප‍්‍රමුඛ ඉන්දීය රජය සමඟ සාම කි‍්‍රයාවලියකට තමන් සූදානම් බව පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් මීට පෙර පවසා තිබුණි. අසල්වැසි ඉන්දියාව සමඟ රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා දියුණු කර ගැනීමට තමා කැපැවී කටයුතු කරන බව අගමැති ෂරීෆ්ගේ ඡුන්ද පොරොන්දුවක් ද වෙයි.

පසුගිය මාස කිහිපයේ සිට ඉන්දු පාකිස්තාන කාශ්මීර දේශසීමාවේ දරුණු ගැටුම් ඇවිළී ගියේය. එම ගැටුම්වලින් දෙරටේ හමුදා සෙබළු පවා ජීවිතක්ෂයට පත්වූහ.

ඉකුත් 26 වැනිදා ඉන්දු කාශ්මීර බෙදුම්වාදී සන්නද්ධ පිරිසක් ඉන්දීය පොලිස් ස්ථානයකට කඩා වැදී ප‍්‍රහාරයක් එල්ල කළහ. එම ප‍්‍රහාරය සිදු කළේ පාකිස්තාන රජයේ අනුග‍්‍රහය ලබන සන්නද්ධ කල්ලියක් යැයි ඉන්දියාව චෝදනා කර තිබේ.

ප‍්‍රහාරය එල්ල වූයේ ශ්‍රී නගර් සිට කිලෝ මීටර් 200 ක් දුරින් පිහිටි හිරනගාර් නුවර පොලිස් ස්ථානයටය. ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් දෙදෙනකු සහ පොලිස් නිලධාරීහු හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

අගමැති ධුරයට පත්වීමෙන් පසු, නවාස් ෂරීෆ් උත්සහ ගන්නේ තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡුා පැවැත්වීමටය. ඒ සඳහා  අත්අඩංගුවේ සිටින තවත් තලේබාන් නායකයන් නිදහස් කිරීමට ද පාකිස්තාන රජය සූදානමින් සිටින බව පැවැසෙයි.

ආසියානු කලාපයේ ත‍්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නේ පාකිස්තාන රජය යැයි ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං ඉකුත් 28 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත් වෙන එක්සත් ජාතීන්ගේ 68 වැනි මහා මණ්ඩල සැසිවාරය අමතමින් කියා සිටියේය.

තලේබාන් ඇතුළු වෙනත් ඉස්ලාමීය සටන්කාමීන්ට පාකිස්තාන රජයේ අනුග‍්‍රහය ලැබෙන බවත්, ඉන්දියාව අස්ථාවර කිරීමට එවැනි  සන්නද්ධ කල්ලි පාකිස්තාන රජයට සහාය වෙන බවත් ඉන්දීය බුද්ධි අංශ මීට පෙර අවස්ථා ගණනාවකදී අනාවරණය කර තිබේ.
පාකිස්තාන රජය ත‍්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නේ නම් ඔවුන් සමඟ සාම කතාවලින් කිසිදු පලක් නොවන බව ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂය කියා සිටී.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරේ පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් හමුවීමට ඉන්දීය අගමැති සිං ගත් තීරණයට ද භාරතීය ජනතා පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල විය.

නවදිල්ලි නුවරට රැුස්වූ භාරතීය ජනතා පක්ෂ කි‍්‍රයාකාරීන් පිරිසක් පසුගියදා විරෝධතා රැලියක් ද පැවැත්වූහ. එහිදී, පාකිස්තාන ධජ ගිනි තැබීම් ද සිදුවිය.

භාරතීය ජනතා පක්ෂය වැඩි දුරටත් කියා සිටියේ ත‍්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නේ නම් එවැනි රජයක් සමඟ රාජතාන්ති‍්‍රක සබඳතා නොපැවැත්විය යුතු බවය.