සිරියාවේ අසල්වැසියකු වන ජෝර්දානයට ‘පේට්රියට්’ වර්ගයේ දිගු දුර මිසයිල තොගයක් මෙන්ම එෆ් 16 වර්ගයේ ප‍්‍රහාරක ජෙට් යානා ද ලබා දීමට ඇමෙරිකාව ඊයේ (4) තීරණය කළේය.
මේ වනවිට ඇමෙරිකා සෙබළු 200 ක බළඇණියක් ජෝර්දානයේ ස්ථානගත කිරීමට ද ඇමෙරිකාව කටයුතු කර ඇත.
ඇමෙරිකා ආරක්ෂක ලේකම් චක් හේගල්, ජෝර්දානයට එම මිසයිල සහ ප‍්‍රහාරක යානා ලබා දීම සම්බන්ධයෙන් සිය අනුමැතිය ලබා දී ඇති බවත් ජෝර්දානය සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වීමට ද ඇමෙරිකාව සූදානම් බවත් පැවැසෙයි.
ජෝර්දානය සිරියාවේ දකුණුදිග අසල්වැසියාය. උතුරින් පිහිටි අසල්වැසියා තුර්කියයි. ජෝර්දානය මෙන් නොව තුර්කිය නේටෝ සාමාජිකයෙකි. නේටෝව මේ වනවිට තුර්කියට ‘පේට්රියට්’ වර්ගයේ මිසයිල ලබා දී ඇත.
යුද විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ සිරියාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් තුර්කිය සහ ජෝර්දානය සූදානම් කිරීම ඇමෙරිකාවේ අරමුණ බවය. තුර්කියේ සිටින ඇමෙරිකා සෙබළුන්ගේ ගණන 400 කි.
පසුගියදා හොර රහසේ තුර්කිය හරහා සිරියාවේ සංචාරය කළ ඇමෙරිකානු සෙනෙට් සභික ජෝන් මැකේන් කියා සිටියේ සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදා රටේ පවතින සිවිල් යුද්ධය ජය ගැනීමට ආසන්න බවය.
සිරියානු කැරැලිකරුවන් පරාජය කිරීමට ජනපති අසාද්ගේ රජයට හැකියාව ලැබී ඇත්තේ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් ලැබෙන සහාය නිසාය.