ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, නාවික හමුදා පද්ධති මූලස්ථාන ගොඩනැගිල්ලට ඉකුත් 16 වැනිදා එල්ල වූ ප‍්‍රහාරයෙන් පසු, රටේ සියලූම හමුදා ආයතනවලට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ඇමෙරිකානු රජය පෙරේදා (17) තීරණය කළේය.

වොෂින්ටන් අගනුවර, නාවික හමුදා පද්ධති මූලස්ථාන ගොඩනැගිල්ලට එල්ල වූ ප‍්‍රහාරය ගැන ද ඇමෙරිකානු ෆෙඩරල් පරීක්ෂකයන් එසේත් නැතිනම් එෆ්.බී.අයි පරීක්ෂකයන් ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු දිගටම සිදු කරන බව මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් 16 වැනිදා උදෑසන නාවික හමුදා පද්ධති මූලස්ථාන ගොඩනැගිල්ලට කඩා වැදුණු තුවක්කුකරුවකු ඉවක් බවක් නැතිව සිදුකළ වෙඩි තැබීම්වලින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බරපතළ තුවාල ලැබූ අට දෙනකු රෝහල් ගත කෙරුණි.

තුවක්කුකරු නවීන ගිනි අවි තුනකින් සන්නද්ධ වී සිටි බව ද පැවැසෙයි. පොලිසිය ඔහු කොටු කළ අවස්ථාවේ, ඔහු පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇති අතර, පොලිසිය පෙරළා කළ වෙඩි තැබීමෙන් තුවක්කුකරු ද ජීවිතක්ෂයට පත්විය.

එෆ්.බී.අයි. පරීක්ෂකයන් තුවක්කුකරුගේ විස්තර මාධ්‍යවලට නිකුත් කර ඇති අතර, තුවක්කුකරු ඇරොන් ඇලෙක්සිස් නමැති 34 හැවිරිදි කළු ජාතිකයකු බවත් ඔහු හිටපු නාවික හමුදා සෙබළකු බවත් වාර්තා විය.