ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, නාවික හමුදා පද්ධති මූලස්ථාන ගොඩනැගිල්ලට පෙරේදා (16) උදෑසන කඩා වැදුණු තුවක්කුකරුවකු ඉවක් බවක් නැතිව කළ වෙඩි තැබීමකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බරපතල තුවාල ලැබූ අට දෙනෙක් රෝහල් ගත කෙරුණාහ.

වෙඩික්කරු ඇලෙක්සිස්


වෙඩි තැබීම සිදුවී ඇත්තේ ඇමෙරිකානු වේලාවෙන් උදෑසන 8.20 ට පමණි. තුවක්කුකරු පැය 3 කට ආසන්න කාලයක් තිස්සේ ගොඩනැගිල්ල තුළ ඇවිදිමින්, දකින දකින පිරිසට වෙඩි තබා ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.

තුවක්කුකරු නවීන ගිනි අවි තුනකින් සන්නද්ධ වී සිටි බව ද පැවැසෙයි. පොලිසිය ඔහු කොටු කළ අවස්ථාවේ, ඔහු පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇති අතර, පොලිස් නිලධාරීන් පෙරළා කළ වෙඩි තැබීමෙන් තුවක්කුකරු ජීවිතක්ෂයට පත් වූයේය.

එෆ්.බී.අයි. පරීක්ෂකයන් තුවක්කුකරුගේ විස්තර මාධ්‍යවලට නිකුත් කර ඇති අතර, තුවක්කුකරු ඇරොන් ඇලෙක්සිස් නමැති 34 හැවිරිදි කළු ජාතිකයකු බවත් ඔහු හිටපු නාවික හමුදා සෙබළකු බවත් අනාවරණය විය.

2011 වසරේ දී ඔහු හමුදාවෙන් නෙරපා දමනු ලැබ ඇත. ඒ, ඔහු සිය ගිනි අවිය පෙන්වමින් සිවිල් වැසියන් පිරිසකට කළ තර්ජනයක් හේතුවෙනි.
ඇරොන් ඇලෙක්සිස් වියරු වැටී වෙඩි තබන්න ඇත්තේ ඔහු මානසික ආතතියෙන් පෙළුණු අයකු වූ නිසා යැයි පොලිසිය අනුමාන කරයි. එෆ්.බී.අයි. පරීක්ෂකයන් කියා සිටියේ සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන බවය.

 

වෙඩිතැබීම සිදුවූ නාවික හමුදා ගොඩනැගිල්ලට පොලිස් ආරක්ෂාව