වසර 24,000 ට පෙරාතුව දකුණු මධ්‍යම සයිබීරියාවේ දී මියගිය වයස අවුරුදු හතරක් පමණ වූ පිරිමි ළමයකුගේ ඇට සැකිල්ලක කොටසක් ගෙන ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ ඇමෙරිකානුවන්ගේ මුල් සම්භවය සිදුව ඇත්තේ යුරෝපයේ බවයි. ඔවුන් පවසන්නේ අතීත හිමයුගයේ දී යුරෝපයේ සිට සංක්‍රමණය වූ මුතුන් මිත්තන්ගෙන් ඇමෙරිකාව ජනාවාස වී ඇති බවයි.

පර්යේෂකයන් පවසන්නේ වර්තමාන ඇමෙරිකානුවන්ගෙන් සියයට 30 ට වැඩි පිරිසක් පැවත එන්නේ සයිබීරියාවේ දී වසර 24,000 පෙර මියගිය මේ දරුවාගේ ජාන සැකසුමට අනුව බවයි.

මෙම අධ්‍යයනය කළ ඩෙන්මාර්කයේ කෝපන්හේජන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්කි විලර්සි පවසන්නේ මේ සොයා ගැනීම පුදුමයට කරුණක් බවයි. ඔහු පෙන්වාදෙන්නේ නූතන ඇමෙරිකානුවන් සම්භවය වී ඇත්තේ නැගෙනහිර ආසියානුවන්ගේ සහ යුරෝපීය මිශ්‍ර ජාතියක් ලෙස බවයි.

සයිබිරියාවේදී මේ ඇටසැකිල්ල හමුවී ඇත්තේ 1920 දී ය. රුසියාවේ පුරාවිද්‍යාඥයන් විසින් එය ගොඩගෙන ඇත්තේ සයිබීරියාවේ මෝල්ටා ගමට නුදුරින් වූ බෙලයා නමැති නදිය ආසන්නයෙනි. කෝපන්හේජන් සරසවියේ විද්‍යාඥයන් එම ඇටසැකිල්ලේ අස්ථි කොටසකින් ඩී.එන්.ඒ. ලබාගෙන ඇමෙරිකා ජනතාවගේ ඩී.එන්.ඒ. සමග සන්සන්දන කැර ඇත

වසර 24,000 ට පෙර මියගිය මේ දරුවාගේ ඩී.එන්.ඒ.වල ඇති වර්ණ දේහ සහ සෛලවල ශක්තිය නිපදවන මයිටකොන්ඩ්‍රම අද යුරෝපීය ප්‍රදේශ වටකරගෙන ජීවත්වන බටහිර ආසියාවේ සහ අප්‍රිකාවේ කලාපවල ජනතාවට සමානත්වයක් දක්වන බව ද තහවුරු වී ඇත. ඔවුන් චීන, කොරියන් හෝ ජපාන ජනතාව සමග සමානතාක් නොදක්වයි. කෙසේ වෙතත් මේ පර්යේෂණයෙන් පෙනීගොස් ඇත්තේ ඇමෙරිකානුවන් නැගෙනහිර ආසියාවේ මිනිසුන්ට බොහෝ දුරට සමාන බවයි. මේ ළමයාගේ මරණයෙන් පසු ගතවූ කාලයේ දී නැගෙනහිර ආසියානුවන් හා යුරෝපීයයන් සම්මිශ්‍රණය වී ඇති බව ද පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබේ. ඔහුගේ ප්‍රවේණි ද්‍රව්‍ය අනුව පැහැදිලි වන්නේ අදින් වසර 24,000 ට පෙරාතුව සයිබිරියාවේ ජීවත්වූවන්ගේ වර්ණ දේහ පළමු ඇමෙරිකානුවන්ගේ වර්ණ දේහ වලට දායක වන්නට ඇති බවයි.

පර්යේෂකයන් පවසන්නේ මේ ළමයාගේ අස්ථි කොටසින් ලබාගත් ඩී.එන්.ඒ. තොරතුරු අනුව ඇමෙරිකානුවන් සයිබීරියාවෙන් පැමිණි මිනිසුන් කොට්ඨාශයක් ද යන්න තහවුරු කැර ගත යුතු බවයි. ඇමෙරිකානුවන්ගේ සම්භවය පිළිබද පුදුමසහගත හා ඇදහිය නොහැකි ආකාරයේ මතවාදයක් ආරම්භ කිීමට මේ පර්යේෂණය ඉවහල් වී ඇත. කෙසේ වෙතත් මෙම පර්යේෂණය සිදු කිරීමට පෙර ද හමුවූ අවුරුදු 9000ට පෙර මියගිය නෙත්මික් මිනිසාගේ ‍සැකිල්ල සම්බන්ධ පරීක්ෂණ කළ විද්‍යාඥයන් කියා සිටියේ ද ඇමෙරිකානුවන් යුරෝපයෙන් සම්භවය වූවන් බවයි.

අදින් වසර 15,000 ක් දක්වා ඇමෙරිකාවත් නැගෙනහිර ආසියාවත් අතර මුහුදේ තිබූ අයිස් මතින් නැගෙනිහිර ආසියාවේ මිනිස් කණ්ඩායම් ඇමෙරිකාවට සංක්‍රමණය වී ඇමෙරිකාව ප්‍රථම මිනිස් වාසස්ථාන පිහිටුවාගන්නට ඇතැයි පර්යේෂකයන් පවසයි.