එළැඹෙන නොවැම්බරයේ පැවැත්වෙන පොදුරද මඩුලූ නායක සමුළුව වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇතැයි ‘ද හින්දු‘ වෙබ් අඩවියේ දැක්වේ.

වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇති දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන මාවෙයි සේනාතිරාජා දෙමළ ජාතික සන්ධානය පොදුරද මඩුලූ සමුලූවට සහභාගී නොවූවද ඉන් කියවෙන්නේ විදෙස් රටවල නායකයින් හා තම පක්ෂයේ අමනාපයක් ඇතැයි යන්න නොවන බවත් ඔවුන් හමුවීමට හා සාකච්ඡා කිරීමට තමන් දැඩි කැමැත්තකින් සිටින බවත් සදහන් කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ ආරංචි මාර්ග  අනුව පක්ෂය මෙම තීරණය ගෙන ඇත්තේ උතුරු පළාත් සභාවේ මංගල සැසිවාරය අතරතුරදීය.

රටේ අනෙක් ප්‍රධාන පක්ෂ 2 වන එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණද පොදුරද මඩුලූ සමුලූව දෙස තවමත් බලනුයේ වපර ඇසිනි.

ජනතා විමුක්ති පෙරමුණට අනුව පොදුරද මඩුලූ සමුලූව යනු බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදී උගුලකි.

පොදුරද මඩුලූ සමුලූව පැවැත්වීම ගැන හෝ එහි අරමුණු ගැන ගැටලූවක් නැතැයි කියන එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාව වැනි රටකට පවතින තත්ත්වය අනුව මෙවන් දැවැන්ත වැඩසටහනක් පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න ගැටලූවක් යැයි පවසයි.