අන්තර්ජාලයේ ඇති සියලූම ආකාරයේ අසභ්‍ය දර්ශනයන් වාරණය කිරීමේ සමත් පද්ධතීන් ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍යය සැළසුම් කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වුවත් මෙම පද්දතීන් ක්‍රියාත්මක කිරීමේ අයිතිය පැවරෙනු ඇත්තේ අන්තර්ජාල සේවා ලබාගන්නා පාරිභෝගිකයන්ටමය.අවශ්‍ය නම් මෙම වාරණයන් ක්‍රියාත්මක නොකර අන්තර්ජාල සේවා ලබාගැනීමේ හැකියාවත් ඔවුන්ට හිමිවනු ඇත.

මේ කරුණු අනාවරණය වූයේ බ්‍රිතාන්‍යය අගමැති ඩේවිඩි කැමරන් බ්‍රිතාන්‍යයේ ප්‍රකට අන්තර්ජාල සේවා සපයන සමාගම් කිහිපයක ප්‍රධානීන් සමග පැවැත්වූ පසුගියදා පැවැත්වූ සාකච්ඡාවකදීය.

තම නිවසේ අන්තර්ජාල පරිහරණය ගැන අදහස් දැක්වූ අගමැතිවරයා තමන්ගේ නිවසේ නම් අනිවාර්යයෙන්ම මෙම වාරණයන් ක්‍රියාත්මක කිරීමට තමන් සූදානමින් සිටින බව පැවසීය.අන්තර්ජාලයෙන් ලබා ගත හැකි වාසි සේම අවාසිද බොහෝ ඇති බවත් විශේෂයෙන් කුඩා දරුවන් ගැන සැළකීමේදී දෙමව්පියන් තමා සේම අන්තර්ජාලයේ වාරණයන් කි්‍රයාත්මක වනවාට කැමති වනු ඇති බවත් ඔහු කීය.

නමුත් වැඩිහිටියන්ගේද අවශ්‍යතා ගැන සළකා බැලීමේදී සම්පූර්ණ වාරණයන් පැමිණවීම සාධාරණ නොවන හෙයින් මෙසේ පාරිභෝගිකයාට අවශ්‍ය වේ නම් පමණක් වාරණයන් කි්‍රයාත්මක කිරීමේ හැකියාව ලබා දී ඇතැයි ඔහු සදහන් කළේය.ඒ අනුව ඉදිරියේදී අන්තර්ජාලය ‘භාවිතා‘ කිරීමට තම බිරිදගේ අවසරය පැතීමට සැමියන්ට සිදුවනු ඇතැයි අගමැතිවරයා පැවසීය.

අන්තර්ජාලයේ ඇති ළමා ලිංගික අපයෝජනයන් ඇතුළත් දර්ශනයන් කොන්දේසි විරහිතව වාරණය කිරීමට දැනටමත් ගූගල් හා මයික්‍රොසොෆ්ට් සමාගම් කටයුතු කරමින් සිටී.