ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන භාරතීය ජනතා පක්ෂයේ නායකත්වය, හින්දු ජාතිකවාදී දැඩිමතධාරී දේශපාලඥ නරේන්ද්‍ර මෝඩිට හිමිවීමත් සමඟ, එහි ජ්‍යෙෂ්ඨ නායකයා ලෙස කටයුතු කළ එල්.කේ. අද්වානී සිය තනතුරුවලින් ඉල්ලා අස් වීමට ඉකුත් 10 වැනිදා තීරණය කළත් පෙරේදා (11) සවස ඔහු එම තීරණය වෙනස් කළේය.
85 හැවිරිදි අද්වානී, භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු කමිටුවෙන්, ජාතික විධායක කමිටුවෙන් සහ මැතිවරණ කමිටුවෙන් ද ඉල්ලා අස් වීමට තීරණය කර සිටි බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබුණි.
ඔහු එම තීරනය වෙනස් කළේ මෝඩි සහ පක්ෂයේ සෙසු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සමඟ කළ සාකච්ඡාවකින් ද පසුවය.
මෝඩිට පක්ෂ නායකත්වය හිමිවුණේ ඉකුත් 9 වැනිදාය. වසර ගණනාවක් ගුජරාඨ ප‍්‍රාන්තයේ මහ ඇමැති ලෙස, එම ප‍්‍රාන්තය සමෘද්ධිමත් කළ මෝඩි, 2014 වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.