අඟහරු මතට මිනිසකු යැවීමට කරන ලද සැළසුම් සාර්ථක වූ බව නාසා ආයතනය පවසයි. මිනිසකු අඟහරු මතට යැවීමට ඔරියන් නමැති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතී. එහිදී සිදුකරන්නේ ඔරියන් නමින් හඳුන්වා ඇති කුටීරයක මිනිසකු රඳවා එය අඟහරුමත ගොඩබැස්සවීමයි.

ඔරියන් කුටීරයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් අත්හදා බැලීමක් පසුගිය දා සිදුකැරිණි. එහි දී සී-17 ගුවන් යානයකින් එම කුටීරය මිනිසකු අඩි 35,000 ක් ඉහළ අහසට ගෙන ගොස් ඇරිසෝනා කාන්තාරය මතට පැරෂුට් ආධාරයෙන් මුදා හරින ලදී. එය පොළොවට පතිත වූයේ ඇමෙරිකා යුද හමදාවට අයත් යූමා නම් තැනිතලාවයට. ඊ.එෆ්.ටී.1 ලෙස නම් කැර තිබූ මේ අත්හදා බැලීම සාර්ථකව අවසන් විය. නාසා ආයතනය පවසන්නේ මේ අත්හදා බැලීම සඳහා මිනිසකු යොදා නොගත්තේ එය පුපුරායාමට ඉඩ තිබීම හේතුවෙන් බවයි.

ඔරියන් ව්‍යාපෘතියේ වැඩසටහන් කළමණාකරු මාර්ක් ගේයර් මෙසේ පැවසුවේය, '‘අපි පැරෂුට් මගින් මෙය අඩි 35,000ක් උඩ සිට බිමට ඇද වැටීමට සැලැස්වූයේ මෙහි යම් කාර්මික දෝශයක් තිබී පිපිරීමකට ලක් වේ දැයි බැලීමටයි. සාමාන්‍යෙයන් අපි මෙවැනි අත්හදා බැලීම් කිරිමෙන් දෝෂ නිවැරදි කරගන්නවා. ඒ අතින් මේ පීම්ම අතිශයින්ම සාර්ථකයි.‘'

මේ කුටීරය සම්බන්ධ තවත් අත්හදා බැලිමක් දෙසැම්බර් මාසයේ සිදු කිරීමට නියමිතය. නාසා ආයතනය පවසන්නේ ඔරියන් ව්‍යාපෘතියේ මෙතෙක් ලැබූ ප්‍රගතිය අනුව 2018 දී මිනිසකු අඟහරු වෙත යැවීමට හැකිවනු ඇති බවයි.