අගහරු මත සත්‍ය ලෙසටම ජලය පැවැති බව තහවුරු කෙරෙනා සාක්කි සොයාගැනීමට හැකිවූ බව ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනය (නාසා) පවසයි.

පර්යේෂණ කටයතු සදහා අගහරු ග‍්‍රහයා මතට යවා ඇති රොබෝ රෝවර් යානයෙන් ලැබුණු අලූත්ම තොරතුරු ආශ‍්‍රයෙන් මේ සාක්ෂි සොයාගැනීමට හැකිව ඇතැයි සදහන්ය.

අගහරු මත ජලය පැවැතීයයි මීට බොහෝ කලෙකට පෙර සිටම සදහන් කෙරුණද ඒ බව තහවුරු කෙරෙනා සාක්කි ඉදිරිපත් කිරීමට කිසිවෙකුත් සමත් වූයේ නැත.මෙතෙක් සිදුකෙරුණු පර්යේෂණ වලින් හෙළිව තිබූයේ ජලය කෙසේ වෙතත් සල්ෆියුරික් වැනි ප‍්‍රබල අම්ල වලට සමාන අධි ආම්ලික ද්‍රාවණයන් නම් අගහරු මත තිබී ඇති බවයි.

නමුත් අලූතින්ම සොයා ගෙන ඇති පරිදි අගහරු මත ජලයද පැවැත ඇතැයි තහවුරු වී ඇත.ඒ මැටි හා ඛනිජ අඩංගු පස් සාම්පලක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.විද්‍යාඥයන් පවසන පරිදි අධි ආම්ලික ද්‍රාවණ පමණක් අගහරු මත පැවැතියේ නම් මෙසේ ඛනිජ අඩංගු පස් අගහරු මතින් සොයාගැනීමට නොහැක.ඒ ආම්ලික ද්‍රාවණ හමුවේ බොහෝ ඛනිජයන් දියවී යන බැවිනි.

එනිසා මෙසේ පස් සාම්පලක් හමුවීම යනු අගහරු මත සැබැවින්ම ජලය පැවැත ඇති බව තහවුරු කෙරෙන්නක් යැයි විද්‍යාඥයින් කියයි.විශේෂයෙන් පස් සාම්පලයේ මැටි තිබීම අගහරු මත ජලය පැවැති බවට ප‍්‍රබල සාක්ෂියක් යැයි ඔවුන් පවසයි.