ශ්‍රී ලංකාවට අලූතින් රජයක් පත්ව ඇතත් එහි ඇත්තේද පෙර තිබුණු මුහුණුවරම බව ශ්‍රී ලංකා සම්භවයක් ඇති දෙමළ ජාතික බටහිර ගායිකා මායා අරුල්ප්‍රගාසම් හෙවත් එම්.අයි.ඒ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ පුවත් සේවාව හා පැවැත්වුනු සාකච්ඡාවකදී පැවසුවාය.

මහින්ද රාජපක්ෂ මහතා යුද අපරාධ සම්බන්ධයෙන් හෙග් නුවර අන්තර්ජාතික අධිකරණයට ගෙනයා යුතුවම ඇතැයිද ඇය අවධාරණය කළා

නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට දෙමළ ජනතාව වැඩි වශයෙන් දායක්වී ඇති බව පෙන්වා දුන් ඇය සැබෑ සංහිදියාවක් ඇතිවීමටනම් දෙමළ ජනතාව ඉල්ලා සිටින මූලික අවශ්‍යතා සපුරා දීමට නව රජය කටයුතු කළ යුතුව ඇතැයි කීවාය.

උතුරට හමුදා භට පිරිස් දිගින් දිගටම අනුයුක්ත කර තැබීම ඇතුලූව රාජපක්ෂ රජය දෙමළ ජාතිකයින්ට සිදුකළ හා තවමත් ක්‍රියාත්මකව පවතින කරදර හිරිහැර වහා නවතා දැමීමට නව රජය කටයුතු කළ යුතුව බව ඇය අවධාරණය කළාය.

යාපනයේ හැදී වැඩී තිබෙන එම්.අයි.ඒ යුධ සමයේදී සරණ පතා බ්‍රිතාන්‍යයට පළා ගොස් තිබෙන්නියකි.ඇයගේ ගීත බොහෝමයක් ඇය කියනා පරිදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව විඳීන ගැහැට තේමා කරගෙන නිර්මානයවූ ඒවාය.මෙම ගීත වලට අන්තර්ජාතිකව විශාල ප්‍රසිද්ධියක්ද හිමිව ඇත.