හෘදයේ වෙඩි උණ්ඩයක් ඇණී තිබිය දී මාස දෙකක් දිවි ගෙවූ පුද්ගලයකු ඉන්දියාවේ සිටියි. බාර්ත් ශර්මා නමින් හැඳින්වෙන ඔහු උතුරු ඉන්දියානු වැසියෙකි. බැංකු කොල්ලකරුවන් පිරිසකට මැදිවීමෙන් ඔහු වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇති අතර එහිදී උණ්ඩ දෙකක් සිරුරට ඇතුළු වී ඇත.

ඔහුගේ තුවාල පරික්ෂා කළ වෛද්‍යවරු දුටුවේ එක් උණ්ඩයක් ඉඟටිය ප්‍රදේශයට කා වැදී ඇති අතර අනෙක් උණ්ඩය හෘදයේ බිත්තියට මිලි මීටරයක් පමණ කා වැදී තිබෙන ආකාරයයි. ඉඟටිය අසළ තිබූ උණ්ඩය  ඉවත් කළ ද අලුත විවාහ වූ ශර්මාට ජීවිත අනතුරක් විය හැකි බැවින් හෘදයට ඇණී තිබූ උණ්ඩය ඉවත් කිරිමට වෛද්‍යවරු මැලි වූහ.

එය සැත්කමක් මගින් ඉවත් කිරීමට ඉන්දියාවේ රෝහල් ගණනාවක් මැලි විය. අවසානයේ ඊට එකඟවූයේ ගුජරාටගේ සල් රෝහල පමණි. පසුගිය දා සැත්කම සාර්ථකව අවසන් කැරිණි. උණ්ඩය එළියට ගැනීමට හැකිවිය. හෘද ශල්‍ය වෛද්‍ය අනිල් ජේන් පවසන්නේ හෘදයේ බිත්තියට කා වැදුණු උණ්ඩයක් සමඟ මාස දෙකක කාලයක් ජීවත්වීම ඉතා දුර්ලභ සිදුවීමක් බවයි.

උණ්ඩය තව මිලි මීටර එකක් ඇතුළට ගියේ නම් හෘදයේ දකුණු කුටීරය පසාරුවන බවත් ඒ හේතුවෙන් ම ඔහු මියයන බවත් වෛද්‍ය මතයයි. එමෙන් ම හදවත ස්පන්දනය වන වාරයක් වාරයක් පාසා ඔහු මිය යාමේ අවදානම වැඩි වූ බව ද වෛද්‍යවරයා කියයි.

‘‘ මෙය අසාමාන්‍ය පුවතක්. ඒ වගේ ම ශර්මා වාසනාව කරපින්නාගත් අයෙක්.‘‘ යැයි වෛද්‍යවරු කියති.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ශර්මා ට මේ උණ්ඩය වැදගත් වනු ඇත. ඒ ඔහු මරණයට කොතරම් ලංවී සිටියේ ද යන්න සිහිතබා ගැනීමටය. එසේ වුව ද උණඩය දැන් නඩු භාණ්ඩයකි.