IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කොරෝනා නිසා ලෝකය නරක ම අතට හැරේවි යි ට්‍රම්ප් කියයි

නව කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් ලෝකය නරක ම අතට හැරෙමින් තිබෙන ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. හෙතෙම මේ බව පැවසූයේ ගෝලීය කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 15 ඉක්මවා ගිය මොහොතක ය.

‘‘පෙනෙන හැටියට තත්ත්වය හොඳ අතට හැරෙන්න කලින්, එය නරකම අතට හැරේවි. එය මහ අවාසනාවක්’’ යැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීය.

නව කොරෝනා වයිරස වසංගතයට දැක්විය යුතු ප්‍රතිචාර මොනවාදැයි සම්බන්ධයෙන් රටවල් රැසක මේ වනවිට දැඩි බෙදීමක් ඇති වී තිබෙන අතර එසේ වුවද දිනපතා වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබේ.

‘කොවිඩ්-19’ යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්වෙමින් රටවල් රැසක ආර්ථික කඩා බිඳ දමමින් ලෝකය පුරා වේගයෙන් පැතිර යමින් තිබේ.

මේ වනවිට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ලෝක බලවතා ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 3.91ක ඉක්මවයි.

බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව සහ දකුණු අප්‍රිකාව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන මුල් රටවල් පහ අතර පසුවෙයි. ඇමෙරිකානු කලාපයේ වයිරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවටත් කිසිදු අඩුවක් දක්නට නැති බවටත් සෞඛ්‍ය විශේෂඥයන් දැනටමත් අනතුරු අඟවා ඇත. ලොව නන්දෙසින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගෙන් සහ වයිරස ආසාදිත මරණවලින් අඩකට වඩා වාර්තා වන්නේ ද ඇමෙරිකානු කලාපයෙනි.

ගෝලීය වශයෙන් ගත්ත ද වයිරස ව්‍යාප්තියේ අඩුවක් පෙනෙන්නට නැත.

චීනයේ වූහාන් නුවරින් පළමු ‘කොවිඩ්-19’ ආසාදිතයා වාර්තා වූයේ ජනවාරි මාසයේදී ය. ආසාදිතයන් ගණන මිලියන 2ක් වීමට ගතවූයේ සති 15කට ආසන්න කාලයකි. කෙසේ නමුත් ආසාදිතයන්ගේ ගණන මිලියන 13 සිට 15 ඉක්මවා යෑමට ගතවූයේ දින අටක් පමණි. ගෝලීය ආසාදිතයන්ගේ ගණන මිලියන 13ක් ලෙස වාර්තා වූයේ ජූලි 13 වැනිදා ය.

ලොව රටවල් නිල වශයෙන් වාර්තා කරන වයිරස ආසාදිතයන්ගේ ගණන් සහ වයිරස ආසාදිත මරණ ගණන් සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන් සිය අවිනිශ්චිත බව පළ කර ඇත. විශේෂයෙන් පරීක්ෂණ ධාරිතාව අඩු රටවල් සම්බන්ධයෙන් එම අර්බුදය පැන නැග තිබේ. 

මේ වනවිට නිල වශයෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ  සමස්ත ගණන 15,009,213ක් ලෙස දැක්වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව එය දරුණු උණ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය හේතුවෙන් වසරකදී වාර්තා වන ගණන මෙන් තුන් ගුණයකි. ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 616,000කි. මාස හතක් ඇතුළත වාර්තා වී ඇති එම ගණන වසරක් තුළ දී උණ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය හේතුවෙන් මිය යන සංඛ්‍යාවේ දරුණුම එසේත් නැතිනම් ඒ හේතුවෙන් මිය යා හැකි උපරිම ගණන යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි. 


ලිහිල් කරනවා ද ? දැඩි කරනවා ද ?

නව කොරෝනා වයිරසයේ පළමු රැල්ල තවමත් අවසන් වී නැත. ඇතැම් රටවල වයිරසයේ පළමු රැල්ලේ උච්ඡතම අවස්ථාව හෝ තවමත් පැමිණ නැත. ඇතැම් රටවල දෙවැනි රැල්ලක් ද ආරම්භ වී ඇත. කෙසේ නමුත් වයිරසයේ අඩුවක් දක්නට නැත. එහි අවසානයක් ද පෙනෙන්නට නැත. මේ තත්ත්වය මධ්‍යයේ වුවද ඇතැම් රටවල් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කරමින් සිටින අතර ඇතැම් රටවල් එම සීමා නැවත වරක් දැඩි කරමින් සිටියි. 

වයිරසය පාලනය කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බොහෝ දෙනකුගේ අප්‍රසාදය එල්ල වී ඇත. මුල් අවස්ථාවලදී ඇමෙරිකානු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවට ද චෝදනා එල්ල විය. කෙසේ නමුත් ඇමෙරිකානු ජනාධිපතිවරයා අඟහරුවාදා (21) කළ ප්‍රකාශය බොහෝ දෙනකුගේ විමතියට හේතු විය. ඇමෙරිකානුවන්ට මුඛ ආවරණ පළඳින්නැයි හෙතෙම කීවේය. ඇමෙරිකානු ජනාධිපතිවරයා මුල සිටම මුඛ ආවරණ පැළැඳීම ප්‍රතික්ෂේප කළ අතර මේ වනවිට ඔහු ඊට වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මුඛ ආවරණ පළඳියි. 

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වසංගතය නරක අතට හැරෙමින් තිබෙන මොහොතක ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ වනවිට ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය, ආර්ථිකය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත. එපමණක් නොව ඔහු ආණ්ඩුකාරවරුන් සමඟ නිරන්තරයෙන් මතභේද ඇති කරගනී. වයිරසයෙන් මේ වනවිට දරුණු බලපෑමක් එල්ල වී ඇති ටෙක්සාස්, ෆ්ලෝරීඩා සහ ජෝර්ජියා ප්‍රාන්තවල වයිරසය පැතිර යෑම සඳහා පැනවූ සීමා දැඩි කරන්නැයි දැඩි ඉල්ලීම් පැමිණිය ද ජනාධිපතිවරයා ඊට කන් නොදීම මෙම අර්බුදයට හේතු වී තිබේ. 

බ්‍රසීලයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 2.15 ඉක්මවා ගොස් ඇත. ඒ අතර එරට ජනාධිපති ජාර් බොල්සොනාරෝද සිටියි. එරට 81,000කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී ඇත. ඇමෙරිකානු ජනාධිපතිවරයා හා සමාන පියවරක් අනුගමනය කරමින් බ්‍රසීල ජනාධිපතිවරයා වයිරසයේ බරපතළකම ගණනකට නොගත්තේය. මේ තත්ත්වය හේතුවෙන් එරට තුළ ශීඝ්‍ර වේගයෙන් වයිරසය පැතිර ගියේය. මේ නිසා කොරෝනා වයිරසයට එරෙහිව එන්නතක් සෙවීමේ පරීක්ෂණ භූමිය බවට බ්‍රසීලය පත්ව ඇත. 

ආසාදිතයන් මිලියනයකට වඩා වැඩියෙන් වාර්තා වන අනෙක් රට අසල්වැසි ඉන්දියාව ය. ඉන්දියාවෙන් බදාදා දිනයේදී ද ආසාදිතයන් 40,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා විය. වයිරසය හේතුවෙන් වසා දැමුණු ආර්ථිකය නැවත විවෘත කිරීමට ඉන්දියාව පියවර ගත්තේ ය. මේත් සමඟ ඉන්දියාව මේ වනවිට දැවැන්ත අභියෝග දෙකකට මුහුණ දී සිටියි. ඉන් එකක් වසංගතයට එරෙහි සටන ය. අනෙක එරට ප්‍රදේශ රැසකට බලපා ඇති දැවැන්ත ගංවතුර තත්ත්වය ය.

දකුණු අප්‍රිකාවේ කැබිනෙට්ටුවේ අමාත්‍යවරුන් දෙදෙනකු ද නව කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගත කළේය. අප්‍රිකානු කලාපයේ වඩාත් කාර්මීයකරණය වූ රට වන අප්‍රිකාවෙන් මේ වනවිට වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 372,628කි. එරටින් වාර්තා වන මරණ ගණන 5,173කි.

අනෙක් රටවල් මේ වනවිට වයිරසය නැවත ව්‍යාප්ත වීමට ගැනීම නිසා නැවත වරක් දැඩි සීමා පැනවීමට පියවර ගෙන ඇත. 

ස්පාඤ්ඤය බාර්සිලෝනා නුවර මුහුදු වෙරළවලට පැමිණෙන පිරිස සීමා කිරීමට පියවර ගත්තේය. සති අන්තය වනවිට ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවීමත් සමඟ ජනතාවට නිවෙස්වලට වී සිටින්නැයි උපදෙස් දීමට ද එරට බලධාරීන්ට සිදුවිය.
ඔස්ටේ්‍රලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න් නුවර ද මේ වනවිට දැඩි සීමා ක්‍රියාත්මක වේ. එනුවර ජනතාවට බදාදා සිට ප්‍රසිද්ධ හා පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය වේ. මෙල්බර්න් නුවරින් බදාදා දිනයේදී වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 501කි. 

වයිරස ආසාදිතයන් වාර්තා වීමත් වයිරසය වේගයෙන් පැතිර යෑම වැළැක්වීම සඳහාත් චීනය, කැනඩාව ආදී රටවල් ගණනාවක් නැවත වරක් දැඩි සීමා මෙන්ම  නව ක්‍රමවේද අනුගමනය කිරීමට මේ වනවිට පියවර ගෙන ඇත. 

රොයිටර්

055



අදහස් (0)

කොරෝනා නිසා ලෝකය නරක ම අතට හැරේවි යි ට්‍රම්ප් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 727 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2390 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site