IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


මහාමාර්ගවල මරු කපොලු දුටු සැණින් ඉවත් කරන්න ඕනෑ

අප රට මිනිස් වාසයට නුසුදුසු ද යන ප්‍රශ්නය මතු කෙරෙන පුවත් ඕනෑ තරම්ය. අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේ එබඳු පුවතකි. එම පුවතින් කියැවුණේ ගොතටුව කොස්වත්ත මාර්ගයේ ජලාපවහන මණ්ඩලය අසල ජල නළයක් පුපුරා යාමෙන් හෑරුණු අඩි 6ක් පමණ ගැඹුරු වතුර වළකට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පියකු සහ දියණියක යතුරුපැදිය සමග ඇදවැටී ගිලෙමින් සිටියදී ප්‍රදේශවාසීන් පැමිණ ඔවුන් දෙදෙනා බේරාගත් සිද්ධියයි.

එම පියා සිය දාහතර හැවිරිදි දියණිය යතුරු පැදියේ තබාගෙන පාසලට රැගෙන යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බව ද එම ප්‍රවෘත්තියේ සඳහන්ය. මෙයින් දෙදෙනාගේ ජීවිත බේරී ඇත්තේ අනූ නවයෙන් බව පොලිසිය සඳහන් කර ඇත. පැති ගණනාවකට අවධානය යොමු කළ යුතු ප්‍රවෘත්තියකි.

දෙනෝදාහක් ජනී ජනයා ගමන් කරන මාර්ගයක අඩි 6ක් තරමේ ගැඹුරු වළක් තිබීම එක් අතකින් විශ්වාස කළ නොහැකි තරම්ය. එහෙත් එය සත්‍යයකි. එම වළ හෑරී ඇත්තේ ජල නළයක් පුපුරා යාමෙනි. ඒ අනුව එය අනපේක්ෂිත සිදුවීමකි. එහෙත් එබඳු අනපේක්ෂිත සිදුවීමකින් අනපේක්ෂිත අනතුරු ඇතිවිය හැකි යැයි අපේක්ෂා කළ යුතුව තිබිණි.

ප්‍රවෘත්තියට අනුව ජල නළය පුපුරා ගොස් තිබෙන්නේ ගොතටුව – කොස්වත්ත මාර්ගයේ ජලාපවහන මණ්ඩලය අසලය. මෙවැනි අනතුරක ගැඹුර වටහා ගැනීමට සමත් එකදු නිලධාරියකු හෝ සේවකයකු එහි නොසිටියේ ද යන්න ප්‍රශ්න කිරීම අසාධාරණ නැත. මෙම ආයතනවල එම ආයතනවලට දරාගත නොහැකි තරමේ සේවකයෝ සිටිති. එමෙන්ම නඩත්තු අංශය ද වේ.

මෙවැනි අනතුරුදායක අවස්ථාවක දී ක්ෂණයකින් ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් තිබිය යුතුය. මහ පාරේ අඩි 6ක් තරම් වළක් හෑරී මිනිස් ජීවිත බිලිගන්නා මරු කටක් නිර්මාණය වී තිබිය දී මෙම නිලධාරීන් හා සේවකයන් නිදාගෙන සිටියේ ද? යන ප්‍රශ්නය පැන නගී. ඒ සමගම තම වගකීම, රාජකාරිය සම්බන්ධයෙන් අවබෝධයක් සහිත කිසිවකු හෝ එහි නොසිටීම ද අවාසනාවකි.

දියණිය යතුරු පැදියේ තබාගෙන යතුරු පැදිය ධාවනය කළ පියාගේ නොසැලකිලිමත් කම මෙම අනතුරට හේතු වූවා ද විය හැකිය. එහෙත් මහා මාර්ගයක අඩි 6ක් තරමේ ගැඹුරු වළවල් ඇතැයි මාර්ගයක ගමන් ගන්නා කිසිවකු හෝ සිතනු ඇතැයි විශ්වාස කළ නොහැකිය.

කොළඹ මහ වැසි ඇද වැටුණු දිනයක සිමෙන්ති ආවරණය ඉවත් කර තිබූ කානුවකට වැටී තරුණියක මිය යාමේ පුවත මෙයට දෙතුන් වසරකට ඉහත දී වාර්තා විය. ජලය ගලා යාම නිසා සිමෙන්ති ආවරණ ඉවත් කර ඇති බව නොපෙනෙන බවත් එකල එම ප්‍රවෘත්තිය වාර්තා කළ මාධ්‍ය වාර්තාවන්හි සඳහන් විය.

එසේනම් එම මරණයට වගකිව යුත්තේ එම තරුණියගේ නොසැලකිලිමත් බව නිසා යයි යමෙකුට පැවැසිය හැකිද? අදාළ රාජ්‍ය ආයතන පුරවැසියන්ගේ ජීවිත සම්බන්ධයෙන් වඩ වඩාත් වගකීම් සහගත විය යුතුය. පුරවැසියා මහ මගට පිවිසෙන්නේ අකාලයේ මරු වැළඳ ගන්නා අදහසින් නොවේ. එබඳු අනාරක්ෂිත පරිසරයක ජීවත් වීමට සිදුවීම යනු එම ජනයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි.

පෙර සමාජයේ පොදු සාමුහිකත්වයක් තිබිණි. මෙබඳු අවස්ථාවක දී ඒ අසල පදිංචිකරුවන් මෙන්ම ඒ අසලින් ගමන් ගන්නා පිරිස් අනතුර සම්බන්ධයෙන් කුමන හෝ සංඥාවක් සලකුණු කරති. අවම වශයෙන් කෙසෙල් පැළයක් හෝ එහි රඳවා තබති. එහෙත් සාමුහික විචාර බුද්ධිය ගිලිහී ගිය සමාජයක එවැන්නක් අපේක්ෂා කළ නොහැකිය. මෙහිදී බලාපොරොත්තු විය හැක්කේ සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් වාගාඩම්බර ඇදබාන සමාජයකි. අප යමින් සිටින්නේ එතැනට ද යන ප්‍රශ්නය මගහැර යා නොහැකිය.

(***)



අදහස් (1)

මහාමාර්ගවල මරු කපොලු දුටු සැණින් ඉවත් කරන්න ඕනෑ

Malika Saturday, 30 September 2023 08:58 AM

ජල ප්‍රවාහන මන්ඩලය සහ ආර්. ඩී ඒ. එකේ කඹ ඇදිල්ල නිසයි මේ වගේ විනාශ සිදුවන්නේ. වරක් අපේ ආයතනය ඉදිරිපිට මහපාරේ ජලනලයක් පුපුරා ගොස් දිනයක් ඇතුළත විශාල ප්‍රමාණයක් ජලය අපතේ යනවා බලා සිටීමට නොහැකිවූ නිසා හදිසි අංකයට කතාකොට ඔවුන් දැනුවත් කළා. ඒත් ඔවුන්ගේ ප්‍රතිචාරය ඉතාම නින්දිතයි. හවස් වෙනකොට පාරත් කැඩිලා වතුර මලකින් විහිදෙනවා සේ ජලය ගලායනවා. නැවතත් දුරකතන ඇමතුමක් දී ඔවුන් දැනුවත් කළාම කීවේ පයිප්පය හැදුවත් පාරේ මතුවු වල වහන්න එයාලාට බැහැ. ඒක ආර්.ඩී.ඒ එක එන්න ඕනේ කියාත්, නමුත් එම ආයතනය දැනුවත් කරන්න ඔවුන්ට බලයක් නැහැ කීවා. ආර්. ඩී. එකත් ඒ විදියට කීවා ඔවුන්ට පාර හදන්න පුළුවන්... ඒත් වතුර බටය ගැන දැනුවත් කරන්න බැරිලු. මේකද මෙයාලගේ පරිපාලනය...? මම රටේ ජීවත්වෙන, බදු ගෙවන කෙනෙක් නිසා මේ අපරාධයට බලා ඉන්න බැරිව දුරකතනය හතර අතට කරකවලා, දන්න නොදන්න, අදාල, අදාල නැති සියලුදෙනාට කතා කරලා මගේ කරදරය නිසා දෙගොල්ලන්ම සම්මුතියකට ඇවිත් එකම වෙලාවට ඇවිත් වැඩය කළා. ඔන්න ශ්‍රී ලංකාවේ මහජන මුදල් සූරාකන දෙපාර්තුමේන්තු, මණ්ඩලවල තත්වය...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 187 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1141 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site