(රංජිත් රාජපක්ෂ)
නුවරඑළියට දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන අවස්ථාවල සංචාරකයන්ව පෝනියන් පිට රැගෙන ගොස් ආදායම් ලබන පෝනියන්ගේ අයිතිකරුවන් බව පැවසෙන පිරිස සංචාරකයන් නොමැති අවස්ථාවල පෝනියන්ව අයාලේ යෑමට අතහැරීමෙන් සත්ව හිංසනයක් මෙන්ම පරිසර හානියක් සිදු වන බව නුවරඑළිය ප්‍රදේශවාසීන් කියා සිටියි.
නුවරඑළිය නාගරික ප්‍රදේශවල ඇති දැඩි කරන පෝනියන් බොහෝ විට තණකොළ කෑම සඳහා නිදහසේ සැරි සැරීමට ඉඩ හැරීම නිසා, ආහාර සොයා පෝනියන් ප්‍රධාන නගරය පුරා සැරිසරන අතර, බොහෝ අවස්ථාවල මාර්ග අයිනේ වැවී ඇති තණකොළ සහ බිත්තිවල අලවා ඇති පෝස්ටර් පවා ආහාරයට ගන්නා අතර, ඉන්පසු ප්‍රධාන මාර්ග මතම වැතිරී නිදා සිටීම නිසා රියදුරන් දැඩි අපහසු තාවයන්ට මුහුණ දෙයි.
බිම වැතිරි සිටින පෝනියන් එක්වරම මාර්ග හරහා දිව යෑමත්, ඇතැම් අවස්ථාවල පෝනියන් රංචු පිටින් මාර්ගය හරහා ගමන් කිරිමත් නිසා රිය අනතුරු බහුල වශයෙන් සිදු වන අතර, රථවාහන ගමනා ගමනයට බාධාවක්ද පැමිණ ඇත.
පෝනියන්ගේ අයිතිකරුවන් විසින් නගර සභාවේ අනුමැතිය ඇතිව තම පරිශ්‍රයන් තුළම සකස් කරන ලද ආවරණය කළ ස්ථානවල (ගාල්වල) මෙම සතුන් ඇති දැඩි කළ යුතු වූවත්, එම සතුන් නිදැල්ලේ සැරි සැරීමට ඉඩ හැරීම නිසා එම සතුන් පොදු ස්ථානවල හෝ ප්‍රධාන මාර්ගවල සැරිසරමින් මහජනතාවට සහ රථවාහන ගමනාගමනයට බාධා කරන අයුරින් හසු වූවහොත්, එම සතුන් නුවරඑළිය මහ නගර සභාව භාරයට ගෙන එම සතුන් නුවරඑළියේ නගර සභා ඉඩමක ගාල් කර එම සතුන්ට ආහාර පාන ලබාදි පසුව අයිතිකරුවන්ට දඩ මුදලක් නියම කර එම සතුන් යලිත් ඔවුන් වෙත මුදා හරිනු ලබයි.
මෙසේ සතුන් අයාලේ යෑමට ඉඩ හැරීම තුලින් නුවරඑළියට පැමිණි සංචාරකයන් සපා කෑමටත් පහර දීමටත් මෙම සතුන් ඇතැම් අවස්ථාවල ක්‍රියා කර ඇත.
නුවරඑළිය ප්‍රධාන මාර්ගවල සැරිසරන මෙම සතුන් සම්බන්ධ අනතුරු මෑතකදී ඉහළ ගොස් තිබේ. ඊට අමතරව, නුවරඑළිය ප්‍රදේශයට වැසි ඇද හැලෙන විට, එම සතුන්ගේ අසූචි සහ මුත්‍රා වර්ෂා ජලයට එකතු වීම නිසා මාර්ග ලිස්සන සුළු ස්වභාවයක් ගන්නා අතර, එමගින් අනතුරු සිදුවීමේ අවදානම තවදුරටත් වැඩි කරනු ලබන අතර, ඒ තුලින් සෞඛ්‍ය තර්ජනයක්ද එල්ල වේ.
මෙම සතුන් පාලනය කිරීමට පියවර ගැනීමට නගර සභා නිලධාරීන් දිගින් දිගටම පසුබට වීම නිසා, ඔවුන්ගෙන් සිදුවන පීඩාව දිනෙන් දින උග්‍ර වෙමින් පවතී.
නුවරඑළියේ සිටින අයිතිකරුවන් බොහෝ විට අවධානය යොමු කරන්නේ මෙම සතුන් යොදාගෙන සිදු කරන සවාරි මගින් මුදල් ඉපයීමට පමණි.
සතුන් කෙරෙහි අයිතිකරුවන්ට සැලකිල්ලක් හෝ වගකීමක් නොමැති වීම නිසා, මේ වන විට නුවරඑළිය නගර සීමාව තුල පෝනියන් විශාල ප්‍රමාණයක් බෝ වී ඇත.
අප මේ සම්බන්ධයෙන් නුවරඑළිය කොට්ඨාශ රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රෝෂන් කුරේ මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ, මේ සම්බන්ධයෙන් නුවරඑළිය මහ නගර සභාව සමග සාකච්ඡා කර පෝනියන්ගේ අයිතිකරුවන් ලියාපදිංචි කර නිර්ණායක කිහිපයක් යටතේ පෝනියන් සවාරි රැගෙන යෑමට අවසර ලබා දීමටත්, සංචාරකයන් නොමැති අවස්ථාවල එම සතුන් ගාල් කර ඇති කිරිමටත්, අයිතිකරුවන් නොමැති පෝනියන් නගර සභා ඉඩමක ගාල් කර තැබීමටත් පියවර ගන්නා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd