IMG-LOGO

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘

(අංජුල මහික වීරරත්න)

ලූනු බිකටත්  පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය අමතමින් ඊයේ (1) පැවසීය.

වෘත්තීය  සමිති ව්‍යාපාරය පැරැණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම් ඇඳ ගැනීමට කාලය පැමිණ තිබෙන බව කී ජනාධිපතිවරයා එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී නගර සභා සහ ප්‍රාදේශීය සභා ජාතික ජන බලවේගය සතු කොට අලුත් පිම්මක් ලබාගත යුතු බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය" රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැළිය" යන තේමාවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ගීත ගායනා ඇතුළු සංස්කෘතිකාංග වලින්ද මැයි දින රැළිය හැඩ වූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

බලය අත්පත් කරගෙන මේ රට ගොඩනැගීම සඳහා ජනතාව පෙළ ගස්වන රැලිය අද අප පවත්වනවා.අද දේශපාලන ව්‍යාපාරයක් ලෙස පවතින්නේ ජාතික ජන බලවේගය පමණයි.මේ රටේ අනාගතයේ මුළුමනින්ම රඳා පවතින්නේ ජාතික ජන බලවේගය අතයි.අනෙක් සියල්ල සුන්බුන් ගොඩක් පමණයි.නමුත් තැනින් තැන හඬවල් ඇහෙනවා.ඔවුන් බල සිතියම එලා තිබුණා.

ඒ අයගේ පරම්පරා අතේ බලය පවත්වාගෙන යමින් පොදු ජනතාව පීඩාවට පත් කරමින් කටයුතු කරන්න ඔවුන් බලාපොරොත්තු වුණා.පරම්පරා ගණනක් එලා තිබුණු බල සිතියම හකුලා දමා පොදු ජනතාව අතට බලය ගන්න ජනතාව සමත් වුණා.මේ අපේක්ෂා භංගත්වයේ අදෝනාව දැන් අපට ඇහෙන්නට තිබෙනවා.

අද නීතිය සමව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඔවුන්ගේ වරප්‍රසාද අහිමි වෙමින් තිබෙනවා

. ඒ නිසා වේදනාවේ අදෝනාව දැන් ඇහෙනවා.ඔවුන් දූෂණයේ අපරාධයේ යෙදුණු ප්‍රමාණයත් අපි කවුද කියන කාරණයත් ඔවුන් දන්නවා.එනිසා ඔවුන් කෙරෙන් භීතියේ අඳෝනාව ඇහෙනවා.දැන් ඔවුන් වැල් බයිලා කණ්ඩායම් බවට පත්ව තිබෙනවා. 

 

තව දුරටත් අපට අපෙන් එළියේ අභියෝගයක් නැහැ. අභියෝගය තිබෙන්නේ අපට අප තුළමයි.වසර හැටපහක් අරමුණකට කැපවීමේ උරුමය අපට තිබෙනවා.අපි අරමුණක් වෙනුවෙන් උරුමය කර තියාගෙන යන කණ්ඩායමක්.මෙතෙක් පුරුද්දේ බලයෙන් වැඩ කළා.දැන් අප විශ්වාසයේ බලයෙන් වැඩ කරනවා.

අපහමුවේ ඉතා කටුක යථාර්ථයක් තිබෙනවා. පතුලට කඩා වැටුණු ආර්ථිකයක් තිබෙනවා.සමාජ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් අප පොර බදිනවා.

සමාජ සාධාරණත්වය බිහිකිරීම රාත්‍රියකින් දෙකකින් සිදුවන දෙයක් නොවේ.නමුත් ඒ වෙනුවෙන් අප ඉතා විධිමත් වියමනක් වියනවා. 

අවුරුදු හැත්ත හයක් විනාශය පතුලටම ගෙන ගොස් මාස හයෙන් ප්‍රතිඵල අපේක්ෂා කරන අයට මම කියන්නේ ඉතා සැලසුම් සහගත වියමනක් ඉතා සැලසුම් සහගතව අප සාර්ථකව වියනවා.

මේ ගමනට ෂෝට් කට් නැහැ.ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයේ බර අප තේරුම් ගෙන තිබෙනවා.ඉතා දියුණු විධිමත් රාජ්‍යයක් ගොඩනැගීම සඳහා අප ගමන ආරම්භ කර තිබෙනවා.

අපට තිබුණේ තුඹ ගහ කැඩුණු නෞකාව වගේ ඔහේ පාවුණු රටක්. 

අදූෂිත දේශපාලනය අපේ රාජ්‍යයේ ප්‍රධාන කුලුණයි.ඒ වගේම මේ ශක්තිමත් අත්තිවාරම  වෙනුවෙන් අපට ජාතික සමගිය අවශ්‍යයි.

උතුර,නැගෙනහිර ජනතාව ජාතික ජන බලවේගය සමඟ අපටත් වඩා වැඩි ඉදිරි පියවරක් තබා තිබෙනවා.

අප ඒ ජනතාවට කිසිසේත් ආපසු හැරෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔවුන්ගේ අයිතිවාසිකම් සියල්ල තහවුරු කරනවා.රට ගොඩනැගීමේ දෙවැනි කුළුණ එයයි.

බෙදුණු දේශපාලනය වෙනුවට ලංකාවේ පළමුවරට එකතු කරන දේශපාලනය අරඹා තිබෙනවා. ඒ වගේම ශක්තිමත් රාජ්‍ය  සේවයක් මෙන්ම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේ ගමන අරඹා තිබෙනවා. හැබැයි පැරණි රට කියලා හිතාගෙන නොයෙක් අය නැවත කතන්දර කියන්න පටන් ගෙන තිබෙනවා.ඒ කතා කියූ විගස අල්ලස් කොමිසම ඔවුන් කැඳවන්න පටන් ගෙන තිබෙනවා.ඒකට අපි ස්තුති වෙනවා.

අප රට ජාත්‍යන්තරය ඉදිරියේ කළු රටක් බවට පත්ව තිබුණා.අප ක්‍රම ක්‍රමයෙන් ඒ තත්ත්වය නැති කරමින් සිටිනවා.බොහෝ රටවල් නතර කර තිබූ ව්‍යාපෘති නැවත අරඹන්නේ ඒ නිසයි.

අපේ සීමා මායිම් හැකියාවන් මෙන්ම දුබලතාවයන්ද අප හඳුනාගෙන තිබෙනවා.අත්තිවාරම මත බිල්ඩින් එක හදන්න නම් ඉතා හොඳ ශක්තිමත් දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි. කොළඹ නගරයේ හිස්බිම් වාණිජ වශයෙන් වටිනාකම් තිබෙන බිම් සියල්ල අපේ පළමු කාලය තුළ ආයෝජන සඳහා යොදවනවා.පුරන් කුඹුරු එක අඟලක් ඉතිරි නොවන පරිදි ගොවිජන පරිවර්තනයක් ඇති කරනවා.

වෘත්තීය සමිති ව්‍යාපාරය පැරණි ආකල්ප අත් අරින්න. හූනු බිජුවටත් පොර බදින කාලය අත හරින්න.දේශපාලන අධිකාරිය සියල්ල හරිනවා.වෘත්තීය  සමති ව්‍යාපාරය හූනු බිජුවක් තරම් දේත් ඉල්ලන්න එපා.ඔබගේ හීන් කෙඳිරියක් වත් නැතුව අප මූලික වැටුප වැඩි කළා.වැටුප් වර්ධක වැඩි කළා.හැබැයි චූටි වාක්‍ය ඉල්ලා සටන් කරන්න එපා.

 එය යුක්ති සහගත නෑ.වෘත්තීය  සමිති ව්‍යාපාරය පැරැණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම් ඇඳ ගැනීමට කාලය පැමිණ තිබෙනවා. මේ රට ගොඩනැගීමේ ව්‍යාපාරය සාර්ථක කර ගැනීම සඳහා එකතු වන ලෙස අප වෘත්තීය  සමිති ව්‍යාපාරයට ආරාධනා කරනවා. ඔබ රාජ්‍ය සමඟ එකතු වී ඔබට පැවරී තිබෙන වැඩ කොටස ඉටු කරන්න එකතු වෙන්න.

එළියේ ඉන්නේ වැල් බයිලා කාරයෝ.යාළුවා ගිහින් ගම අල්ලලද දන්නෑ. මොන වැල් බයිලාද මේ.දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා අලුත් ගැම්මකින් වැඩ අරඹමු.

අප දැන් අලුත් පිම්මක් ගත යුතුයි. ඒ පිම්ම මැයි හය වෙනිදා ගනිමු.ජනාධිපති ,කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව මෙන්ම නගර සභා ප්‍රාදේශීය සභා, ජාතික ජන බලවේගය සතු විය යුතුයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:-

ගාලු මුවදොර මෙච්චර ලස්සනට තිබිලා නෑ කවදාවත්.2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා.මේ මැයි දිනය අපේ අරගලය සමරන දිනයක් බවටත් පත්ව තිබෙනවා.මේ සෙනඟ දැක්කාම දෙසැම්බර් මාසේ, නොවැම්බර් මාසේ ජනාධිපති වෙන්න හිතාගෙන ඉන්න අයට මොනව හිතෙනවද දන්නෑ.අද ලෝකයේම ප්‍රගතිශීලී බලාපොරොත්තුව තිබෙන්නේ ලංකාව ගැනයි.

ඔබ දශක ගණනාවක් තිස්සේ කළ අරගලයක ප්‍රතිඵල අද  අත් විඳිනවා.මෙහි රැස්ව සිටින්නේ අප රටේ ඉතිහාසය වෙනස් කළ පිරිසක්.මේ දශක ගණනාවක් තිස්සේ මොනතරම් මර්දනයකට ලක් වූ ව්‍යාපාරයක්ද?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා:-

අපි පටන් ගත් දේශපාලන වෙනස ආපසු හරඹන්න කිසිවකුට බෑ.අප මේ ගමන කිසිවකුගේ බාධක වලට ආපසු හරවන්න බෑ.අප රටේ ජන බලය තිබෙන්නේ ජාතික ජන බලවේගය සතුව පමණයි. අප කාලයක් තිස්සේ වෙහෙස වී මහජනතාවගේ වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් හදා තිබෙනවා.

අප රට විනාශ කළ දේශපාලන පක්ෂ දැන් දේශපාලන පිටියෙන් ඉවත් වී තිබෙනවා.අද ලංකාවේ ප්‍රධාන ධනපති දේශපාලන පක්ෂයට මැයි දිනයක් නෑ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂ කාර්යාලයට එකතු වී සාකච්ඡාවක් කරලා තිබෙනවා.ප්‍රේමදාස කොළඹ නොසිට ඈතට ගියා.පොහොට්ටුවත් පොඩි රැස්වීමක් කළා.ජාතික ජන බලවේගය හැර අනෙක් දේශපාලන ව්‍යාපාර සියල්ල වඳ වෙමින් යනවා.තව ටික දවසකින් මේගොල්ල ඉතුරු වෙන්නේ රතු දත්ත පොතේ විතරයි යනුවෙන්ද ටිල්වින් සිල්වා මහතා පැවසීය

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත,ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්,එක්සත් වාමාංශික බලවේගයේ ලේකම් පියල් රාජකරුණා,ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්,සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ, ජා.ජ.බ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ,ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහත්ම මහත්මීහු ද චීන,ඉන්දීය සහ වියට්නාම් කොමියුනිස්ට්  පක්ෂ නියෝජිතයන් ඇතුළු ජාත්‍යන්තර පක්ෂ නියෝජිතයෝද මැයි දිනය ඇමතූහ.

 

 

 



අදහස් (12)

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘

sudha Friday, 02 May 2025 09:54 AM

ලූනු බික් ඇති තරම් නැත්නම් හෝ තියෙන ඒවා ගන්න සල්ලි නැත්නම් හෝ ලූනු බිකටත් පොරබදනවා ඇරෙන්න ජනතාවට වෙන කරන්න දෙයක් නැතිබව අපේ ජනපතිතුමාට තේරෙන්නේ නැතුව හරි තේරුම් ගන්න ඕන නෑ හරි වෙන්න ඇති ඔහොම කියන්නේ. මේ රජය බලයට පත්වෙලා මාස ගානක් වෙනවා නමුත් රජයේ සේවකයන්ට පමනක් පඩි වැඩි කරලා හිතනවා ඔක්කොටම ලූනු බික් ඇතිතරම් ගන්න සල්ලි තියනවා කියලා.

:       9       60

Rodni Friday, 02 May 2025 02:28 PM

එතකොට මෙච්චර අවුරුදු ගාණක් ඔය ළූණු බික වෙනුවෙන් මිනිස්සු පාරට ගෙනාවේ ඇයි? ගොවියෝ අමුඩ ගස්සලා කොළඹ ගෙනාවා මතකද?

:       2       61

රාජේශ් ඛන්නා Friday, 02 May 2025 02:41 PM

විවෘත විධායක ජනපති අසුනක සිට සංවෘත ආර්ථික අදහස් ක්‍රියාවට නැංවීමට උත්සාහ ගැනීමෙන් හෙළුව ප්‍රදර්ශණය වේ...

:       2       37

Banda Saturday, 03 May 2025 12:41 AM

මොන ළූණුද? ඉන්දියානු බොම්බයි ළූණුද? ඇයි මයිසූර් පරිප්පු ඇටය...?

:       0       7

manush Saturday, 03 May 2025 11:45 AM

තමන් විපක්ශයේ ඉන්නකොට හැමදාම කරේ ජනතාව පාරට බස්සලා ලූනු බිකට විතරක් නෙවෙයි ලුනු කැටයටත් පොර බදන්න පොලඹවාපු එක​. ජේවීපී එක අවුරුදු 55ක් තිස්සේ ඔය කරවපු දේවල් නිසා රට කොච්චර පසුබැස්සද කියලා අදවත් තේරෙනවද මන්දා. ඒ ලූනු බිකට පොරබදන මානසිකත්වය රටේ ජනතාවට ගිය අවුරුද්ද වෙනකම්ම දීලා, දැන් කියනවා එහෙම කරන්න එපාලු. ඔයාලට ඔය කර්මය පලදෙන්නේ. වැඩේ කියන්නේ ඔයාලගේ කරුමේ අහක හිටපු අපිටත් ගෙවන්න වෙලා.

:       0       18

ගුණරත්න Saturday, 03 May 2025 08:00 PM

ටිකෙන් ටික චීන ක්‍රමයේ ආණ්ඩුවක් හදාගන්න තමයි මුන්ගේ උත්සාහය

:       1       12

Nishan Sunday, 04 May 2025 07:13 AM

ආණ්ඩු බලයත් ජනාධිපතිකමත් දුන්නොත් මාස 6 න් රට ගොඩ දානවා කිව්වේ බොරුවක් නේද?

:       1       18

vis8 Sunday, 04 May 2025 07:59 AM

අනේ මූගේ මොලේ: බලයට ආවට පස්සේ අංශක 180k හැරිලා :) ඉස්සර බැණපු හෑම දෙයක්ම දැන් හොඳයිද, ජනපතිතුමෝ ...

:       1       19

Senarath Monday, 05 May 2025 08:50 AM

හැමදේටම වෘත්තීය සමිතිවල හෙංචයියෝ දාගෙන වර්ජන කරලා රට විනාශ කළ අය දැන් කියනවා රටේ ජනතාවට වර්ජන කරන්න එපාලු... මේ රට වැට්ටුවේ රට කළ දේශපාලකයන්ගෙන් සමහරක් විතරක් නොවේ. රට වට්ටන චේතනාවෙන්ම වර්ජනය කළ අයත් ඊට සියයට 50කට වඩා දැයක වුණු රට වැටෙන්න.

:       0       22

Toni Monday, 05 May 2025 12:57 PM

මොන ළූණුද? බොම්බයි ළූණුද? ඇයි මයිසූර් පරිප්පු?

:       0       12

kumara Tuesday, 06 May 2025 08:58 AM

කතාව ඇත්ත, හැබැයි ණය ගෙවන්න වෙනකම් හරියට කියන්න බෑ මේ ආණ්ඩුව හරියට වැඩේ කරනවාද නැතිද කියලා. කරුණාකරලා මිනිස්සුන්ට පැහැදිලි ටයිම්ලයින් එකක් දෙන්න මොනවාද ඒ ඒ කාල වලට ඔබලා කරන්නට බලාපොරොත්තු වන දේවල් සහ ඒවයෙන් රට යථා තත්ත්වයට පත් වන්නේ කොහොමද කියලා. පේන ආකාරයට 50-50 තත්ත්වයක් තියෙන්නේ. අනික් අයත් ඔච්චර තමයි, වෙන කවුරුත් ඇත්තේ නෑ. නමුත් මිනිසුන්ගේ බය තත්ත්වය නතර වෙනවා යම් වැඩ පිළිවෙලක් කාලය සමග (presentation) එකක් වගේ කරලා පෙන්වූවොත්. හුදු වචන පමණක් අමාරුයි විශ්වාස කරන්නට. අන්ධ විශ්වාසය. මේ නිසා රට වෙනස් කරනවා කියන්නේ යම් වෘත්තීයමය තත්ත්වයකින් යම් ගැටලුවක් සමග ගණුදෙනු කරන එක.

:       0       10

Thanuka Thursday, 08 May 2025 03:00 AM

කයිතන්

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 20 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 460 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 237 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site