IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


මගේ පොත් අත්පිටපත් රැසක් සුනාමියෙන් වැනසුණා

තුරුණු මඬල

ලොව ප්‍රකට ඇමෙරිකානූ මනෝ විද්‍යාඥයකු වන මහාචාර්ය බ්‍රයන්.එල් වයිස්ගේ many Lives many masters නැමති කෘතිය අශෝක කුමාරසිරි නොනිමෙන භව ගමන නමින් සිංහලට පරිවර්තනය කර පාඨකයා වෙත ප්‍රදානය කර තිබේ.පුනර්භවය පිළිබඳ  පර්යේෂණාත්මක ග්‍රන්ථයක් වන මෙය ලාංකික පාඨකයාට අලුත් අත්දැකීමක් ඉදිරිපත් කිරීමට කතුවරයා දරන උත්සාහයකි. වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරයෙකු වන අසෝක කුමාරසිරි සමග ලංකාදීප මතුමහල සාහිත්‍ය අතිරේකය සිදු කළ සංවාදයකි මෙි.

 

*බොහෝ අයගේ ලේඛන කලාවේ ආරම්භයට පාසල බලපා තිබෙනවා.ඔබටත් ලේඛන කලාවට ප්‍රවිෂ්ට වෙන්න පාසල බලපෑවාද?

ඉස්කෝලේ පහේ පන්තියේ ඉඳන් මම පුවත්පත්වලට ලිපි ලියන්න පටන් ගත්තා.මිහිර පත්තරේ තමයි මගේ ආරම්භය.පාසලෙන් ඒ ලැබුණු පන්නරය අද දවසේ ලේඛකයෙක් විදියට පොත් එළිදක්වන්න උත්තේජනයක් වුණා කියලා මම හිතනවා.මම මුලින්ම පළ කළේ ජීවන ගීතය නමින් පරිවර්තන කවි පොතක්.මේක මගේ දෙවැනි කෘතිය.2004 වෙනකොට පොත් 53 ක් මම රචනා කරලා තිබුණා.හැබැයි ඒවා තිබුණේ අත්පිටපත් විදියට.2004 සුනාමියට මාතර පොල්හේනේ මගේ නිවස අසුවුණා.ඒකෙදි මගේ දරුවන් දෙදෙනා වගේම අම්මයි තාත්තයි සුනාමියට අහුවෙලා මැරුණා.මම ලියලා තිබුණු අත්පිටපත් බහුතරයක් සුනාමියේදී විනාශ වුණා.එතැනදී ඉතුරු වුණේ මගේ ගම්පහ නිවසේ තිබුණු අත්පිටපත් 07 ක් විතරයි.ඒ අත්පිටපත් 07 ඇතුළේ ළමා අත්පිටපත්  කීපයකුත් තිබෙනවා.

 

*සුනාමියට විනාශ වූ අත්පිටපත් අතර වැඩිපුර තිබුණේ  මොනවද?

නවකතා, කෙටිකතා ,විද්‍යා ප්‍රබන්ධ ,කවි පරිවර්තන, ස්වතන්ත්‍ර නිර්මාණ බොහෝ ප්‍රමාණයක්  තිබුණා.ඒ ගැන ලොකු කනගාටුවක් අද දවසේ මට තිබෙනවා.

 

*ඇමෙරිකානු මනෝ විද්‍යාඥයකුගේ කෘතියක් තමයි "නොනිමෙන භව ගමන" නමින් ඔබ පරිවර්තනය කරන්නේ.මේ කෘතිය පරිවර්තනය කරන්න විශේෂ හේතුවක් තියෙනවද?

ඇමරිකාවේ සිටින මගේ යාළුවෙකුගේ තෑග්ගක් විදියට තමයි මට ඔය කෘතිය  ලැබුණේ.  1988 වසරේ තමයි ඔය කෘතිය මුලින්ම පළවෙලා තිබුණේ.මට යාළුවා ඒ කෘතිය තෑගි කරන්නෙත් ඒ වසරේදිමයි.ඒ ඉංග්‍රීසි කෘතිය කියෙව්වහම මට ලොකු අපූර්වත්වයක් දැනුණා.අපටත් ගොඩක් සමීප පුනර්භවය පිළිබඳව තමයි ඒ කෘතියෙන් කතා කරලා තිබුණේ.මෙය පර්යේෂණ කෘතියක්.මේ කෘතිය කියවන විට මට දැනෙන දේ තමයි අපේ ජාතක කතා පොත් වහන්සේටත් සමානත්වයක් තියෙනවා කියන එක.ඒ නිසා මං මෙය පරිවර්තනය කරන්න හිතුවා.

 

*මේ කෘතිය ලෝකයේ බොහෝ භාෂා ගණනකට පරිවර්තනය වී තිබෙනවා. මෙවැනි පොතක් ලංකාවට පරිවර්තනය කිරීම ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

මට එහෙම කිසිම අභියෝගයක් තිබුණෙ නෑ. මම මනෝවිද්‍යා ලිපි රචනා කරන ලේඛකයෙක් නිසා මට ඒක අභියෝගයක් වුණේ නෑ කියලා මම හිතනවා.මනෝවිද්‍යාව ගැන ලියපු ලිපි මට මනෝවිද්‍යාත්මක පොතක් ලියන්නත් ඉවහල් වුණා.ඒ පළපුරුද්ද මට වැදගත් වුණා.

 

*මනෝවිද්‍යාව හා සාහිත්‍යය අතර සහසම්බන්ධයක් තියෙනවද?

ඇත්තටම සාහිත්‍යය කියන්නේ මනසෙන් යම් නිර්මාණාත්මක යමක් කිරීමක්.මනෝවිද්‍යාවේ තිබෙන්නේ මනසේ  නිර්මාණශීලීත්වය අධ්‍යයනය කිරීම.මේ දෙක අතර සම්බන්ධයක් තිබෙනවා.

 

* ඕනෑම වයස් කාණ්ඩයක පාඨකයන්ට අවබෝධ කරගත හැකි ආකාරයටයි ඔබ මේ රචනා කර තිබෙන්නේ.ඔබ මේ භාෂා ශෛලිය ගොඩනගා ගත්තේ කොහොමද?

මට හිතෙන විදියට සරල සුගම භාෂා ශෛලියක්  ගොඩනැගුණේ මම පුවත්පත්වලට ලිපි රචනා කරපු නිසයි.අතීතයේ තිබූ සමහර ජාතික පුවත්පත්වලට ආරම්භයේ සිට ඒ පුවත්පත් නවතින තෙක්ම මම දිගටම විශේෂාංග  ලිපි රචනා කළා.ඒ පළපුරුද්ද මේ කෘතිය රචනා කිරීමේදී ඉවහල් වුණා කියලා මා හිතනවා.

 

*ඔබේ පළමු කවි පොතත් පරිවර්තන කෘතියක් .මේ කෘතියත් පරිවර්තන කෘතියක් .පරිවර්තන කෘති පළ කරන්න ඇයි මේ තරම් කැමැත්තක් දක්වන්නේ?

සුනාමියෙන් පස්සේ ඉතුරු වුණේ මගේ ඔය පරිවර්තන කෘති ටික විතරයි.මම පරිවර්තනය කළ ඉතිරි ළමා කෘතිත් සම්මාන දිනූ ළමා කෘති. ඒවා තමයි ඉදිරියේදි මම පළ කරන්නේ.2004 පස්සේ තවම මම අලුත් කෘතියක් රචනා කරලා නැහැ.අනාගතයේදිත් අලුත් කෘතියක් ලියන්න මගේ එහෙම බලාපොරොත්තුවක් නැහැ . මගේ ඉතුරු වෙලා තියෙන පොත් ටික පළ කර ගැනීම තමයි මගේ එකම අරමුණ.මම මැරෙන්න කලින් කොහොම හරි ඒ පොත් ටික පළ කරගන්න ඕනෑ.

 

*ඔබ ජීවිතයේ විශාල අනුවේදනීය අත්දැකීමකට මුහුණ දුන් කෙනෙක්. ලේඛකයෙක් විදිහට ඒ අත්දැකීම් නිර්මාණ බවට පත් කරන්න ඔබ උත්සාහ නොගන්නේ ඇයි?

මම මුහුණ දුන් සිද්ධියෙන් නිර්මාණයක් කරන්න මට කවදාවත් හිතිලා නැහැ. ජීවිතයේ අනිත්‍ය බව මම ඊට කලින් ඉඳලම පසක් කරගෙන හිටියා.මේ සිදුවීමට කලිනුත් මමත් බිරිදත් දෙන්නම දරුවන්ගේ උපන්දින වලටවත් පාටියක් අරන් නැහැ.ඒ දිනවලට දාන තමයි අපි දුන්නේ.අත්දැකීම් කියන්නේ නිර්මාණකරුවකුගේ එක් මාධ්‍යයක් විතරයි.

 

*ඔබ මාධ්‍යවේදියෙක් විදියටත් කාලයක් කටයුතු කළා කළා. සාහිත්‍යකරුවාට භාෂාව නිර්මාණකරණයට මොනතරම් මෙවලමක් බවට පත්වෙනවද?

භාෂාව හොඳින් භාවිත කරනවා නම් සමාජය යහපත් කළ හැකි බව මම විශ්වාස කරනවා. මිනිසුන්ගේ අදහස් උදහස් වෙනස් කිරීමට භාෂාව ඉවහල් වෙනවා.

 

*ඔබ වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරයෙක් නිරන්තරයෙන් දරුවන් සමඟ ගැටෙන කෙනෙක්.ළමා පරපුරේ කියවීමට තිබෙන  නැඹුරුව තවදුරටත් පහළ වැටෙමින් තිබෙනවා නේද?

දැන් ළමයි අලුත් මෙවලම් පාවිච්චි කිරීමත් එක්ක කියවන්න තිබෙන කැමැත්ත බොහෝ දුරට අඩු වෙමින් පවතිනවා.පාසල්වල නිර්දේශිත කෘති පවා දරුවන් කියවන්න කම්මැලියි.ඒත් හාවා හඳ දකින්නා වගේ කලාතුරකින් සාහිත්‍යයට නැඹුරුවක් තිබෙන දරු පරම්පරාවකුත් අපිට ඉඳ හිට මුණ ගැසෙනවා.ඒ ගැන හිතේ නිහතමානී සතුටක් තිබෙනවා.



අදහස් (0)

මගේ පොත් අත්පිටපත් රැසක් සුනාමියෙන් වැනසුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1654 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 648 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site