IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ලේඛිකාවක වීම හීනයක් සැබෑවීමක්

තුරුණු මඬල


- සචී  සේනානායක 


සචී  සේනානායක  මවක්, බිරිඳක්, ලෙස යුතුකම් ඉටුකරමින් සිටියත් කුඩා කාලයේ පටන් සිහින දුටුවේ ලේඛිකාවක් ලෙස තමාගේම කෘතියක් පොත් සාප්පුවක රාක්කයක් මත තිබෙනු දැකීමය.ඒ ආසාව ඉටුවන දිනය දැන් ළඟ ළඟම එළැඹෙමින් තිබේ.  සචී පාසල් අධ්‍යාපනය ලැබුවේ කුරුණෑගල මලියදේව බාලිකාවෙනි. ඉන් පසු ඇගේ  පළමු උපාධිය ව්‍යාපාර පරිපාලන ( Business Administration ) අංශයෙන් හදාරා, තේ අපනයන ක්ෂේත්‍රයේ රැකියාවකට යොමු වන ඇය එම  ක්ෂේත්‍රයේ අවුරුදු 12ක් නිරත වී සිටින්නීය. ඒ අතර ඇය තවත්   පශ්චාත් උපාධි දෙකක් සම්පුර්ණ කළාය.  ඒ ව්‍යාපාර පරිපාලන (MBA ) සහ රාජ්‍ය පරිපාලන (MPA ) ප්‍රශ්චාත් උපාධීන්ය.
දැනට ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ, කළමනාකර සහ මුල්‍ය අංශයේ ආචාර්ය උපාධිය හදාරන්නීය. ඇගේ පර්යේෂණය සිදු වන්නේ තේ කර්මාන්තය ආශ්‍රිතවය. මෙවර ලංකාදීප මතුමහල සංවාදයට එකතු වන්නේ ඇයයි.

* ලියන්නියක් වීම පොඩි කාලේ ඉදන් තිබුණ හීනයක්ද?

"ලිවීම " පුංචි කාලයේ ඉඳලාම මගේ ජීවිතයේ කැමතිම දෙයක් . පාසල් කාලයේ මම ඉංග්‍රීසි නිර්මාණාත්මක ලිවීමේ සහ සිංහල පද්‍ය රචනා තරගවලට ඉදිරිපත් වුණේ බොහෝ ආශාවෙන්, ඒ වගේම ඒ අංශ දෙකෙන්ම මම ජයග්‍රහණ ලබා තියෙනවා. මගේ මුල්ම පොත් පිංච මම ලීවේ 2 වසරේදී. එදා ඉදන් මම ලියූ , නමුත් පළ නොකළ, කවි, කෙටිකතා බොහෝ ගණනක් තියෙනවා. උසස් අධ්‍යාපනය ලබන සමයේ සිටම රැකියාව සහ නිරන්තර අධ්‍යාපනය නිසා මම කාර්යබහුල වුණ නිසාම මගේ ජිවිතයේ ලොකුම සිහිනයක් වූ ලේඛිකාවක් වීමේ හීනය මගෙන් ටික ටික ඈත් වෙලා තිබුණේ .

ඒත් මගේ සිඟිති දූ උපන් පසු මට ලැබුණු කෙටි විරාමය තුළ මම නැවත ටික ටික ලේඛන කලාවට නැඹුරු වුණා. මේ දිනවල මගේ කාලය ගත වන්නේ මගේ දුවත්, ආචාර්ය උපාධි නිබන්ධනයත්, මගේ ලේඛන කලාවත් වෙනුවෙන්. මේක මගේ ජිවිතේ බොහොම සුන්දර, සරලව ගලා යන කාලයක්.

 

* ඔබේ අලුත්ම කෘති දෙකක් නිකුත් වීමට නියමිතයි.අපි එතැනින් කතා බහ පටන් ගමු.

මම ලියූ පොත් දෙකක් 2025, ජනවාරිවල නිකුත් වීමට නියමිතයි .
එයින් එක පොතක් "Magic in Every Page “. යන සුරඟන කතා සංග්‍රහයයි . මෙහි අලුත්ම ඉංග්‍රීසි කතා 21ක් ඇතුළත් වෙනවා. මේ පොත වයස් භේදයකින් තොරව දරුවන්ට රස විඳින්නට පුළුවන් ආකාරයෙන් ලියන්නයි මම උපරිම උත්සාහ කළේ. ඒ කියන්නේ පුංචි දරුවන්ට සරලවත්, ටිකක් වයසින් වැඩි දරුවන්ට ටිකක් සංකීර්ණ විදියටත් අර්ථ දක්වාගන්නට පුළුවන් විදියේ ලස්සන කතා පෙළක් මෙහි තියෙනවා. එකිනෙකට වෙනස් මේ කතා පෙළේ, දරුවන්ට අමතක නොවන විදියේ චරිත වගේම, ජිවිතයට වටිනා පාඩම් ඇතුළත් වෙනවා කියලා මම විශ්වාස කරනවා . ලේඛිකාවක් වගේම මවක් වශයෙනුත් මගේ අරමුණ වුණේ , කියවීමෙන් ටික ටික ඈත් වෙමින් යන අපේ ළමා පරපුර, නැවත කියවීමට ආශක්ත වන විදියේ "මැජික්" පොතක් නිර්මාණය කරන එක.

අනෙත් පොත "තෙලිතුඩින් ලියු කවි" / "Written  Upon a Canvas " නම් කාව්‍ය සංග්‍රහය. මෙහි සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකේම කවි ඇතුළත් වෙනවා. මම 2009 වසරේ වගේ ඉදන් ලියූ සිංහල කවි 42ක් පමණත්, ඉංග්‍රීසි කවි 28ක් පමණත් මේ පොතේ තිබෙනවා.  ආදරය, විරහව, කලාව, රසවින්දනය, ෆැන්ටසිය යන විවිධ තේමාවන්ට මේ කවියටත්. මේ පොතට  "තෙලිතුඩින් ලියු" යන්නෙන් නම් තැබුවේ මම ආදරය කරන තවත් කලාවක් වන චිත්‍ර කලාවත් සම්බන්ධ කරගැනීමට අවැසි වූ නිසයි. මේ පොතේ කවරයට යොදා 
ඇත්තේත් මා විසින් අඳින ලද චිත්‍රයක්. සිත්තරුන් ගැන කවිත් මේ පොතේ ඇතුළත් වෙනවා. 

එහෙත් මෙහි මට ඇති ලොකුම විශේෂත්වය වන්නේ මෙහි පෙරවදන අප අතින් වියෝවූ අසහාය කලාකරු ,  ජැක්සන් ඇන්තනී මහතා අතින් ලියැවී තිබීම. එතුමා මා වැනි අංකුර කලාකාරිනියක වෙනුවෙන් ලියූ ඒ පෙරවදන මට ඉතාමත්ම වටිනවා. අවාසනාවට එතුමා ජිවතුන් අතර සිටියදී එහි දොරට වැඩුම සිදුකරන්නට අපට නොහැකි වුණත්, දැන් එය කවිවලට ආදරය කරන හැම හමුවට ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා.

 

* ඔබ සිංහල ඉංග්‍රීසී භාෂා ද්විත්වයෙන්ම මේ කෘති රචනා කිරීමට විශේෂ හේතුවක් තියෙනවද?

සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ලියන්නට මම ආසයි. මම හිතන විදියට සිංහල බොහොම ගැඹුරු, ඉගෙනගන්නට ටිකක් අපහසු වගේම විචිත්‍ර භාෂාවක්. ඉංග්‍රීසි පහසුවෙන් ඉගන ගන්නට හැකි, සුගම භාෂාවක්. එහි අදහස් ප්‍රකාශනය පහසුයි. ඉතින් මේ භාෂා දෙකම එකිනෙන්කට වෙනස් ලෙස විශේෂයි. 

කොහොම නමුත් මේ පොත ලියන්නට මට ප්‍රස්තුත වුණේ , මගේ පුංචි දුව සමග සෙල්ලම් කරමින් ගතකළ මොහොතක ඈ වෙනුවෙන් එවෙලේ නිර්මාණය කළ පුංචි කතාවක්. ඈ මාස ගණනක කුඩා බිලිඳියක සමයේ සිටම ඇයට ඇහෙන්නට පොත් කියවන්නටත්, මම නිර්මාණය කළ කතන්දර කියන්නටත් මම උත්සුක වුණා. ඒ, ඉතා කුඩා කාලයේ සිට මගේ මවුපියන් මට පොත් අසුරුකිරීමට ලබාදීම නිසා මට ලැබුණු වටිනා දේ බොහොමයක් තියෙන නිසා. ඒ වගේම මගේ දියණියට සිංහල , ඉංග්‍රීසි භාෂා දෙකේම නිපුණත්වය ලබා දීමට මම උත්සහ කරනවා . ඉතින් මේ පුංචි කතාව මම ඇයට කිවේ ඉංග්‍රීසියෙන්. කඩයක අත්හැර දමා තිබුණ බෝනික්කෙක්ට පණ ආපු සිදුවීමක් ගැන කතාවක් ඒ. මේ කතාව අසා සිටි මගේ සැමියා ඒ කතාව බොහොම ලස්සන බවත්, පොතක ලියා තබන ලෙසත් මගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුවයි මේ පොත ලියවුණේ ඉංග්‍රීසි පත පොත කියවීමට නැඹුරුවක් ඇති දරුවන්ට රසවිදීමට වගේම, ඉංග්‍රීසි කියවීමට යොමු වීමට උත්සාහ කරන වැඩුණු දරුවන් හා වැඩිහිටියන්ටත් මේ පොත උපකාරයක් වේවි කියලාත් මම හිතනවා. 

 

* ඔබේ අනිත් කෘතිය කාව්‍ය කෘතියක්.මෙය සිංහල ඉංග්‍රීසී භාෂා දෙකෙන්ම කවි ඇතුළත් කර තිබෙනවා.මෙය ලංකාවට අලුත් අත්දැකීමක් නේද?  

ඔව් , මම හිතනවා ලංකාවට මෙය අලුත් අත්දැකීමක් කියලා . මෙහි ඉංග්‍රීසි කවි, සිංහල කවිවල පරිවර්තන නෙමෙයි. වෙනස්ම කවි ටිකක්. ඉතින් භාෂා දෙකම රසවිදින යට මේ පොත රසවිදින්නට හැකි වේ යැයි මා බලාපොරොත්තු වෙනවා. 

 

*දරුවන්ට ලිවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඒ අභියෝගය මේ කෘතිවලදී ඔබ භාරගත්තේ කොහොමද?

මම කුඩා කල සිටම ලියන, කියවන කෙනෙක් නිසා කුඩා කාලයේ මම ආසා කළ කතාවල ස්වභාවය, ඒ වගේම ඒ කතා මට දැනුණු විදිය, ඒ තුළින් මම ජිවිතයට ගත් පාඩම් මගේ හිතේ තැන්පත් වෙලා තියෙනවා. ඉතින් මම ඒ සුන්දර ළමා වියට ගිහින් ළමයෙක් වගේ හිතන්න උත්සාහ කරන ගමන් තමයි මේ පොත ලිව්වෙ. ළමයින්ට ඇතිවෙන පුංචි නමුත් ඒ කාලයේ  ලොකුවට දැනෙන ප්‍රශ්න (හොදම යාළුවා ඈත්වීම, මවුපියන්ගේ කාර්යබහුලත්වය, තමන්ගේ හීනවලට යද්දී ඇති වන බාධා, සහෝදර ආදරය තුළ ඇතිවන ගැටලු වගේ ) මම මේ පොතේ විවිධ කතා තුළින් වෙනස් " මැජික් " මානයක් තුළ කතා කරනවා. ඒ අතරම වැඩිහිටියෙක් විදියට මම ලබා ඇති අත්දැකීම් , පරිචයන් තුළින්, ඒ කතාවලට ලොකු පාඩමක් සරලව ඇතුළත් කරන්න මම උත්සාහ දරා තිබෙනවා. ඒ සංකලනය නිසා මේ පොත සාර්ථක වී ඇතැයි මම හිතනවා. 

 

* ලේඛිකාවක් වීමේ හීනය කුඩා කළ ඉදන් තිබුණාද? ඒ සදහා අභ්‍යාස කළේ කොහොමද?

ඔව් , මගේ ජිවිතයේ තිබුණ ලොකුම හීනයක් ලේඛිකාවක් වෙන එක. කලිනුත් සදහන් කළා වගේ මගේ මුල්ම පොත මම ලිවේ අවුරුදු 7 දී (2 වසරේදී ). කුඩා කල සිටම පොතපත බොහෝ ඇසුරු කිරීම සහ නිරන්තර ලිවීම තමයි මා කළ අභ්‍යාසය. කුඩාම කාලයේ සතුන් ගැනත් , යොවුන් වියේදී සුරංගනා කතා හා අබිරහස් කතා ත් , වැඩිහිටි වියේ ආදරය ගැනත් වශයෙන් කාලයෙන් කාලයට මා ලියූ දේ වෙනස් මානයන් ගත්තා. 
මම සාමන්‍ය පෙළට ඉංග්‍රීසි සාහිත්‍ය හැදෑරුවා . උසස් පෙළටත් සාහිත්‍ය හැදෑරීමට මම ඉතා ආශා කළත් ගෙදර බලපෑම නිසා විද්‍යා විෂයන් තෝරාගන්න වුණා. ඒ නිසා ඉන්පසු  සාහිත්‍ය සම්බන්ධයෙන් විෂයානුබද්ධ හැදෑරීමක් කරන්නට නොහැකි වුණත් කියවීම , ලිවීම මගේ පණනලවලටම බැදුණු දෙයක් විදියට හැමදාම මා එක්ක ආවා. 

 

* පොතක් පළ කිරීම අද කාලේ ලෙහෙසි පහසු වැඩක් නොවේ. ඒ මුල්ම සිතුවිල්ලේ සිට මුද්‍රණයෙන් පොත එළිදැක්වීම දක්වා ක්‍රියාවලිය සිදුවුණේ කොහොමද?

පොතක් පළ කරන සිතුවිල්ල සහ ආශාව නම් මට තිබුණේ කුඩාම කාලයේ ඉදලයි . මම ලියු කවි සහ කතාන්දර පොත් වශයෙන් පළකිරීමේ ගෞරවය නම් සම්පූර්ණයෙන් ලැබිය යුත්තේ මගේ ආදරණීය සැමියාටයි.

අපි පෙම්වතුන් ව සිටි කාලයේ ඉදන් මම ඔහුට කීව දෙයක් තමයි මගේ ජීවිතයේ ඉටු කරගැනීමට බැරි වූ ලොකුම හීනය " ලේඛිකාවක් වීම" කියන එක. ඉතින් ඒ හීනය මට හැබෑ කර දෙන්න ඔහු විශාල උත්සාහයක් ගන්නවා.

ඇත්තටම කීවොත් මේ පොත් ලිවීම සහ ඉංග්‍රීසි පොතේ පිටු සැකස්ම මම සිදු කළත් එතනින් එහාට තියන, මුද්‍රණය, පොත් එළිදැක්වීම, ප්‍රවර්ධනය වගේ සියලුම කටයුතුවලට මහන්සි වෙන්නේ මගේ සැමියා. 

 

* සුරංගනා කතා කියවීමට දරුවන් කැමතියි .ඔබේ කෘතිය තුළ දරුවන් ඇඳ බැඳ තබා ගැනීමට විශේෂ උපක්‍රම භාවිත කළාද?

"මැජික්" තේමා  රැගත් සුරංගනා කතා ආරක් මම යොදාගත්තේ දරුවන් ආශක්ත කරගැනීමටමයි. එහෙත්  යටි පෙළේ  දිවෙන, ඊට වඩා ගැඹුරු ජීවිතයේ යථාර්ථය රැගත් තේමාවක් පොතේ හැම කතාවකම තියෙනවා. ඒ නිසා මේ පොත "Magical Realism " ශානරයට අයත් පොතක් කීවොත් වඩාත් නිවැරැදියි.

 

* මේ කෘතිය දැන් පාඨකයා අතට පත් කිරීමට සියල්ල සූදානම්. දොරටවැඩුම  සිද්ධ වන්නේ කොහොමද?

ඉංග්‍රීසි කතා පොත සහ ද්වි භාෂා කවි පොත එකම දිනයේ පළ කරන්නට අපි කටයුතු සුදානම් කරගෙන යනවා . අපේ පවුල්වල අයත්, හිතමිතුරනුත් එහි විශාල කාර්යභාරයක් ඉටු කරනවා . ඒ එළිදැක්වීමේ උළෙල, පැමිණෙන හැම දෙනාට ම විශේෂ අත්දැකීමක්  වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා. 

 

* ඉදිරියේදී ඔබේ නිර්මාණ කටයුතු සැලසුම් කරලා තියෙන්නේ කොහොමද?

 මේ වන විට මම මගේ පුංචි දූගේ පළවෙනි උපන්දිනය අලලා පළ කළ "Saanya and the Magical Cherry  Blossom  Garden " පොත ත් ඇතුළුව පොත් තුනක් මගේ කුඩා ලේඛනාගාරයෙන් බිහි වෙලා තියෙනවා. දැනට මම , "Whispers of the Hills " යනුවෙන් ඉංග්‍රීසි නවකතාවක් ලියාගෙන යනවා.  මේ කතාව, ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ව තිබූ සමයේ ලංකාවේ තේ වතුපාලක බංගලාවක ජිවිත් වූ "Victoria " නම් තරුණ කාන්තාවක් සහ වර්තමානයේ ජීවත් වන "රියා" නම් තරුණියක් අතර දෝලනය වෙමින් ගලා යන කතාවක්. මව් සෙනෙහස, සමාජ විසමතා, ප්‍රේමය, යටත්විජිත ඉතිහාසය මෙහි මූලික තේමාවන්. 

මෙය ප්‍රබන්ධ කතාවක් වුණත් , එයට පසුබිම් වුණේ මගේ ආචාර්ය උපාධි පර්යේෂණ කටයුතු අතර මට මුණගැසුණු තේ වතු නිජබිම කොටගත් අහිංසක මිනිසුන්ගේ ජිවිත කතාන්දරය. ඔවුන්ගේ ජිවිත කතාව අසා මම බොහෝ සංවේදී වූ ලෙසින්ම, පාඨකයාත් සංවේදී වනු ඇති මම විශ්වාස කරනවා. 
මීට අමතරව දරුවන් වෙනුවෙන් නවකතා පෙළක් ඉදිරියදී නිර්මාණය කරන්නට මම බලාපොරොත්තු වෙනවා. මගේ දුව සමග කෙළිදෙලෙන්, සෙනෙහසින් ගත කරන හෝරාවන් ඒ සදහා මට පිඹුරුපත් සපයනවා.



අදහස් (0)

ලේඛිකාවක වීම හීනයක් සැබෑවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1569 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site