
උපාධිධරයෝ බොහෝ වෙති. ඒ අතරින් වඩාත් ප්‍රායෝගික විය හැකි චරිත බවට පත්වන්නේ අනාගත දැක්මක් සහ වෙනස් වන ලෝකයට ගැළපෙන සංකල්ප ඇති නුවණැත්තන්ය. ආචාර්ය චන්ද්‍ර ඇඹුල්දෙනිය යනු එවැනි මිනිසෙකි. සංකල්ප පමණක් ඉදිරිපත් නොකළ ඔහු එකී අදහස් වඩාත් ප්‍රායෝගික කළ චරිතයකි. ජීවිතයට මොන තරම් නම් වටිනාකමක් ලබා දිය හැකි ද යන්න, ඔහුගේ ජීවිතයෙන් ගත හැකි ආදර්ශවත් දේ බොහෝය. රටට ඵලදායී වැඩක් කිරීමට රාජ්‍ය සේවයද, පෞද්ගලික සේවයද යන්න ඔහුට වලංගු නොවුණි. තමා නියැළී සිටින අංශයේ සිට වඩාත් ප්‍රායෝගික විය හැකි බව මහා අපූරුවට පෙන්නුම් කළ අගනා - වටිනා මිනිසෙකි. ලාංකීය සමාජයට අපමණ අගයක් ලබා දුන් චරිතයකි. පරිච්ඡේදයකට සීමා නොවූ මහා පොතක් බඳු මිනිසෙකි. සහකාර කථිකාචාර්ය, සාමාන්‍යාධිකාරී, ප්‍රධාන විධායක වැනි තනතුරු ගණනාවක නියැලී අත්දැකීම් සම්භාරයක් ලද ඔහුගේ නාමය රනින් සටහන්ව ඇත්තේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය නිර්මාණය කිරීමට පුරෝගාමී වූ චරිතය වන නිසාය. ලාංකීය සරසවි පද්ධතියට ව්‍යවසායකත්ව සංකල්පය හඳුන්වා දුන් ඔහු, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති, තිරසාර සංවර්ධනය සඳහා වූ ව්‍යාපාර කවුන්සලයේ සභාපති, BIMSTEC සංවිධානයේ පුරෝගාමී සභාපති, එහි ව්‍යාපාර සංසදයේ සභාපති සහ සමාගම් කිහිපයක ප්‍රධාන විධායක ලෙසත්, කටයුතු කළේය. ඔහු පේරාදෙණිය සරසවියේ ගණිත අංශයේ (PGD Maths) උපාධිධරයෙකි. කොළඹ නාලන්දාවේ ආදි සිසුවකු වන මේ මහා මිනිසා මෙවර විශ්‍රාමික සුපිරි තරු හමුවේ ආරාධිතයා වන්නේය.
චන්ද්‍රා ඇඹුල්දෙණිය ද? චන්ද්‍ර ද?
වැඩි දෙනෙක් මාව අමතන්නෙ ‘චන්ද්‍රා’ කියලයි. ඒත් මගේ නම චන්ද්‍ර.
චන්ද්‍ර විතර ද නම?
චන්ද්‍ර ජයමිණි ඇඹුල්දෙනිය. ඒත් ජයමිණි කියලා ආමන්ත්‍රණයේදී භාවිත වෙන්නෙ නැහැ.
ගම කොහෙ ද?
මගෙ අම්මගෙ ගම කොළොන්නාවෙදි මම උපන්නෙ. ඊට පස්සෙ පදිංචියට තාත්තගෙ ගම වන මහරගම ඇඹුල්දෙනියෙ පදිංචියට ගියා.
මොන වගේ පවුලක් ද?
ලයිෆ් ඉන්ෂුවරන්ස් ඔෆ් ඉන්දියා කියලා කම්පැනි එකක් තිබුණා. ඒකෙ වැඩ කළේ. අම්මා තමයි අපව හදා වඩාගෙන ගෙදර වැඩ ඔක්කෝම කළේ. තාත්තා තමයි අපේ සියලු දේට වියදම් කරලා හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නෙ. පවුලේ මමයි, මල්ලිලා දෙන්නයි, නංගිලා තුන්දෙනයි. එයින් එක්කෙනෙක් හැර අනෙක් ඔක්කෝමලා උපාධිධාරින්.
කොහොමද ඒ කාලයේ ඇඹුල්දෙණිය පළාත?
හරිම සුන්දරයි. හරියට ‘අපේ ගම’ පොතේ විදිහටම වගේ සුන්දරයි. අපට ඒ කාලයේ විදුලිය තිබුණෙ නැහැ. නාන්න ළිඳක් තිබුණා. වතුර බොන්න ළිඳක් තිබුණා. පොඩි කාලයේ ඉඳලම මම පාසල් ගියේ ඇඹුල්දෙණියේ ඉඳලා. මුල ඉඳලම ඉගෙන ගත්තෙ කොළඹ නාලන්දාවෙ. වාහන තදබදය අඩුයි. පාසලට එන්න පැය භාගයක් වගේ කාලයක් ගියේ. සමහරදාට තාත්තා එයාගේ කාර් එකෙන් අපිව පාසලට එක්කගෙන ආවා. වැඩි හරියක්ම අපි ගියේ කෝච්චියෙන්. බේස්ලයින් ස්ටේෂමෙන් බැහැලා, ඉතිරි ටික පයින් ගියා.

නාලන්දාවෙදි ඔබ කැපී පෙනුණෙ?
බැඩ්මින්ටන් ගැහුවා. තාරකා විද්‍යා සමාජය පටන්ගන්න මුල් වුණෙත් මම. ඒ කාලයේදි ඒ වගේ දේ නිසා තරමක් දුරට කැපී පේන්න ඇති.
උසස් පෙළින් පසුව?
උසස් පෙළ ඉහළින්ම සමත් වුණා. පාසලෙන් පිටවුණේ 1967 දි. මාව තේරුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. මට ලැබුණෙ විද්‍යා පීඨය. විශ්වවිද්‍යාලයෙන් පිටවුණේ, ගණිත අංශයේ උපාධියක් සහිතව.
එතකොට ඔබ ආචාර්ය වුණේ?
ඒක මට ලැබුණු ගෞරවනීය එනම් ගරු උපාධියක්. විශ්වවිද්‍යාල අංශය වෙනුවෙන් කළ සේවයට ලැබුණු ගෞරව උපාධියක්.
උපාධිධරයකු වීමද ලොකුම අපේක්ෂාව වුණේ?
උපාධි ගන්නවට වඩා මගේ අරමුණ වුණේ වැඩ කිරීමෙන් ඉහළට ගිහින් ඒ අත්දැකීම් එක්ක ප්‍රධාන විධායක නිලධාරියකු වෙන්නයි. CEO වෙලා සභාපති වීමේ ඉලක්කයක් තිබුණෙ. ඉතින් ඒ අරමුණු දෙකම ඉටුකරගන්න පුළුවන් වුණා.
උපාධිය අරගෙන මුලින්ම කළ රස්සාව?
කැම්පස් එකේ සහකාර ලෙක්චරර් කෙනෙක් වෙලා කටයුතු කරන්න පටන් ගත්තා. ටියුටර් කෙනෙක් වෙලා ඉඳලා තමයි සහකාර කථිකාචාර්යවරයකු වුණේ. ඒ අතරේදි මගේ ප්‍රොෆෙසර් විදිහට හිටපු කනගසභාපතිපිල්ලේ මහතා ජැෆ්නා විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය හදන්න එන්න කියලා ආරාධනා කළා. එයාට උදව් කරන්න ජැෆ්නා කැම්පස් එකට ගියා. ගිහින් මාස කිහිපයක් හිටියා.

කොයි කාලයේදි ද?
1974 දි විතර.
ඒ කාලයේ යාපනය කොහොම ද?
අනේ හරිම සුන්දරයි. දිසාපති විදිහට ඒ කාලයේ හිටියෙ අමරසේකර කියලා මහත්මයෙක්. එයා විවේකයේදි අපි එක්ක කතා කර කර ඉන්න ආවා. ඒ පළාතේ මිනිස්සු ඔක්කෝම උදේට අවදි වුණේ, ආඬි ළිඳේ වතුර අදින සද්දෙට. වතුර සද්දය අපේ එලාම් එක වුණා. මිනිස්සු හරිම හොඳයි.
ඒ වන විට ප්‍රේමයක් තිබෙන්න ඇති?
ඔව් ඒ වන විට මට මගේ ප්‍රේමවන්තිය මුණගැහිලා හිටියෙ. පසුව මව්පිය ආශීර්වාද ඇතුව අපි විවාහ වුණේ 1975 දි.
ඒ දවස්වල ‘ජොබ්’ හොයාගන්න ලෙහෙසි වුණා ද?
ඒ කාලයේ අධ්‍යාපන ක්‍රමයේ තිබුණ දුර්වලකමක් විදිහට, අපට නිශ්චිත ඉලක්ක හදාගන්න බැරි වුණා. හැබැයි ඕනෑ තරම් රැකියා අවස්ථා තිබුණා. ඒ කියන්නෙ අපට තෝරාගන්න ජොබ් තිබුණට හරියටම කොතැනටද යන්නෙ කියන අරමුණ තිබුණෙ නැහැ. හැබැයි ගුවන්යානා ඉංජිනේරුවරයකු වීමේ ආසාවක් මට තිබුණෙ. ඉංජිනේරු ෆැකල්ටි එකට තේරුණෙ නැහැ. හැබැයි කෘෂිකර්මය සහ ආර්ථික විද්‍යාව ගැනත් උනන්දු වුණා.
රාජ්‍ය සේවයට එක්වුණේ?
අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධව කටයුතු කරන්න පටන් ගත්තෙ. ඒ කාලයේ තිබුණෙ සිලෝන් යුනිවර්සිටි. අපි හිටපු කාලයේදි තමයි කොළඹ සහ පේරාදෙණිය බවට පත් වුණේ. සහකාර කථිකාචාර්ය ලෙස කටයුතු කරලා, පසුව මම යහළ කැලේ වැවිලි සමාගම් සමූහයේ සේවයට එක් වුණා. විධායකවරයකු ලෙස එයාලා මාව උසස් කළා. ටික දවසක් යද්දි ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ආවා. ඒ වතු ඔක්කෝම රජයට පවරා ගත්තා. සිරිමාවෝ මැතිනියගෙ අක්කර 3000ක විතර වතු පවා කළමනාකරණය කළේ අපේ සමාගම. ඉතින් කොහොම හරි ඒ ජොබ් එක නැතිවුණාම මම ආණ්ඩුවේ ජොබ් එකකට අයැදුම් කළා. සහකාර මිනුම් අධිකාරිවරයකු ලෙසත්, කාලගුණ විද්‍යාඥ යන පුරප්පාඩුවලින් කැඳවීම් ලැබුණා. මම තෝරාගත්තෙ සහකාර මිනුම් අධිකාරි තනතුර. ඒ එක්කම 1977 දි ආණ්ඩු මාරුවීමත් එක්ක හොඳ අනාගත දැක්මක් ගැන මට අවබෝධයක් ඇතිවුණා. කෘෂිකර්ම සංවර්ධන අධිකාරියෙ පත්වීමක් ලැබුණා. ආචාර්ය නානායක්කාර මහතා තමයි මාව ඊට සම්බන්ධ කළේ. එතුමා යටතේ වැඩ කරන්න ලැබුණා. එම අධිකාරියේ සභාපති වුණේ රංජන් විජේරත්න මහතා.

සෙනෙහෙබර ඇඹුල්දෙණිය යුවළ
රංජන් විජේරත්න එක්ක වැඩ කරන්න ලෙහෙසි වුණා ද?
මට මගේ ජීවිතයේදි හමු වූ හොඳම විධායක නිලධාරියා තමා එතුමා. එයාට ප්‍රශ්නය හරියට පැහැදිලි කරලා දෙන්න ඕනෑ. ඒ ප්‍රශ්නයට හරියට උත්තර දෙන්නත් ඕනෑ. ඒක අහලා හරිම පිළිතුර තමයි එයා දුන්නෙ. ඒ වගේම මගේ අනාගත දැක්මට පාර කියා දුන්නෙ, ආචාර්ය නානායක්කාර. ටයිපින් ඉගෙන ගන්න කියලා එතුමා මාව උනන්දු කළා. ඒ වගේම රට වටේ ගිහින් කෘෂිකර්මාන්තයේ ප්‍රශ්නවලට අපි පිළිතුරු හෙව්වා. කොළඹට ගෙනෙන එළවළු මිල තීරණය වෙන හැටි ගැන අපි සොයා බැලුවා. කොපමණ එළවළු ප්‍රමාණයක් කොළඹට එනවද කියලා ඒ වන විට කොළඹ හිටපු වෙළෙන්දෝ දැනගෙන හිටියෙ නැහැ. ඒ වගේ කාරණා නිසා ඇයි හරියට මිල තීරණය නොවෙන්නෙ කියන ප්‍රශ්නයට අපි විසඳුම් හෙව්වා.
හැබැයි අදටත් එළවළු මිල හරියට නියාමනය කෙරෙන්නෙ නැහැ නේද? එදා එළවළු මිල සාධාරණය වුණා ද?
ඒ කාලයේදිත් සාධාරණය වුණේ නැහැ.
ඒ විදිහට කටයුතු කරමින් හිටපු ඔබ එදා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට යන්න තීරණය කළේ ඇයි? ජීවිතයේ ටර්නින් පොයින්ට් එක පටන් ගත්තෙ එතැනින් ද?
මට නිතරම එකම තැනක රැඳී එකම දේ කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා නිතර අලුත් අලුත් දේ ගැන විමසිල්ලෙන් හිටියෙ. මේ ගන්න පඩියෙන් මට කවදාවත් සාර්ථක ගමනක් යන්න බැරි බව මට තේරුණා. ඒ වන විට මම කෘෂිකර්මයෙ සහකාර අධ්‍යක්ෂ ලෙස අලෙවි අංශයේ රැකියාව කළේ. ඒ අතරේ ඩුබායි ඇලුමිනියම් කම්පැනි එකේ ජොබ් එකකට මම අයැදුම් කරලා තිබුණෙ. එ් කම්පැනියෙ Economic Statistics, ආර්ථික දත්ත නිලධාරියකු ලෙස කටයුතු කරන්න තිබුණෙ. ඒත් ඊට එහා ගිය වගකීම් මට පැවරුණා. ඇත්තම කිව්වොත් ජීවිතේ ලොකු අවස්ථාවක් මට ලැබුණා. නවාතැන් - ප්‍රවාහන ඇතුළු සියලු පහසුකම් ලබා දුන්නා. වැඩ කළේ ජෙබල්අලිවල. නැවතිලා හිටියෙ ඩුබායි. 1980 දි තමයි ඩුබායි රැකියාවට ගියේ.
1980 ඔබ යන විට ඩුබායි මොන විදිහ ද?
තනිකරම කාන්තාරයක්. අපට වායුසමනය කළ නවාතැන් පහසුකම් සියල්ල සැපයුවා. ගොඩනැගිලි තිබුණෙ ඉතාම අල්ප ප්‍රමාණයක් විතරයි. හිල්ටන් හෝටලය එක්ක වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් කියලා ගොඩනැගිල්ලක් තිබුණා. ඒක තමයි එදා තිබුණු ප්‍රමුඛ ගොඩනැගිල්ල. හැබැයි ටිකෙන් ටික ගොඩනැගිලි හදන්න පටන් ගත්තා.

‘ඩුබායි’ කොච්චර කාලයක් හිටිය ද?
අවුරුදු 12ක් විතර හිටියා.
ඒ අවුරුදු 12 හමාර වෙනකොට ඩුබායි හැඩය මොන වගේ ද?
බොහොම අලංකරණය වෙලා තිබුණා.
අවුරුදු 12ක් ඉඳලා, ඇයි ආපහු ලංකාවට එන්න හිතුවෙ? එහේ පදිංචි වෙලාම ඉන්න තිබුණානෙ?
මොන තරම් හොඳ පිළිගැනීමක් තිබුණත්, සැප පහසුකම් ලැබුණත්, අවුරුදු 10ක් එකම තැන එකම දේ කරමින් ඉන්නකොට වෙනසක් අවශ්‍ය වුණා. ඒ හිටපු කාලයේදි ආයතනයක් සහ රටක් සංවර්ධනය කරන හැටි මම ඉගෙන ගත්තා. ඒ දැනුම එක්ක ඊළඟට හොංකොං බැංකුවේ ඩුබායි ආයතනයේ සේවයට එක් වුණා. ඒ විදිහට අවුරුදු දෙකක් ගතවෙද්දි ඉරාක යුද්ධය පටන් ගත්තා. ඒ නිසා ෆැමිලි එක ලංකාවට එව්වා. ටික දවසකින් මාත් ලංකාවට ආවා.
දරුවො උපන්නෙත් ඩුබායිවල ද?
එයාලා ඉපදුණේ මෙහේ. ඒත් කුඩා කාලයේ ඉඳලම ඉගෙන ගත්තෙ එහේ. පුතා ඔක්ස්ෆර්ඩ් සහ හාවඩ් එකට ගිහින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවා. පසු කලෙක එයාගේ ආයතන රැසක් හදාගෙන ඒ කටයුතු කරගෙන යනවා. දුව අධ්‍යාපන අංශයේ ඉහළ අධ්‍යාපනය ලබා, එයාගේම අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යනවා.
එතකොට ඔබගෙ බිරිඳ මොනවද කළේ?
එයා ගුරුවරියක්.
ලංකාවට ආපහු ඇවිත් ඔබට අවශ්‍ය වුණේ?
1992 දි ලංකාවට ආවෙ. මගේ හොඳ මිතුරෙක් රියන්සි ටී. විජේතිලක. ලංකාවට එන්න කලින් ඒ ගැන මම මගේ මිතුරන්ට කියලා තිබුණෙ. චන්ද්‍රා ඔයා ලංකාවට ආවාම කොහේවත් යන්න එපා, එන්න අපි එක්ක වැඩ කරන්න කියලා රියන්සි මහතා මට කිව්වා. HNB යටතේ තිබූ කම්පැනි එකක් පාලනය කරන්න මට පැවරුවා. ඒ කම්පැනි එකේ සාමාන්‍යාධිකාරි විදිහට ඉන්නකොට, ඉංජිනේරු අංශයේ උපාධිධාරින් කිහිප දෙනකු පත්කර ගන්න මට අවශ්‍ය වුණා. ඒ වගේම ආයෝජකයෙක් හොයාගෙන ඒ කම්පැනි එක විකුණන්න වගකීම් පවරලා තිබුණෙත් මට. එහෙම කරන්නට පෙර මට අවශ්‍ය වුණේ උපාධිධාරින් බඳවා ගන්න. ඒ නිසා යුනිවර්සිටිවලට ගිහින් ඒ අය මම ඉතාම සුළු පරීක්ෂණයට යොමු කළා. හැබැයි එයාලගෙන් ලැබුණු ප්‍රතිඵලවලින් මම හරියට කනගාටු වුණා. අන්න ඒ වෙලාවෙ තමයි, අනේ අපේ රට හදන්න කලින් අපේ අධ්‍යාපනය හදන්න ඕනෑය කියන අදහස ආවෙ. දහස් ගණනක් ජාත්‍යන්තර ඉංජිනේරුවන් එක්ක කටයුතු කරලා මට තිබුණෙ ලොකු අත්දැකීමක්. ඒ සියලු දේ එක්ක පවතින අධ්‍යාපන ක්‍රමයේ වෙනස් කරන්න ඕනෑ තැන්, වෙනස් විය යුතුය කියන තර්කය රටට කියලා දෙන්න මට අවශ්‍ය වුණා. ඉතින් ඒ විදිහට කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයෙන් සහ ශ්‍රී ලංකා කර්මාන්ත මණ්ඩලයෙනුයි, ඇරයුම් ලැබුණා කමිටු මණ්ඩලයට බැඳෙන්න කියලා. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ කවුන්සිලයේ සාමාජිකයකු ලෙස සිටියදී, කම්පැනි සහ යුනිවර්සිටි රැසකට ගිහින් කටයුතු කරන්න ලැබුණා. ඒ විදිහට ඉන්නකොට තමයි තිලක් සොයිසා සහ මම මුල්වෙලා ‘Intrad’ (ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශන මාලාව) වාණිජ මණ්ඩලය හරහා හඳුන්වා දෙන්න පුළුවන් වුණේ. ඉන්වෙස්ටර් කන්ෆරන්ස් වගේ දේ ඇති කළේ අපනයන වෙළෙඳාම ප්‍රවර්ධනය කර ගන්න. මේ වැඩේ කරන්න නිලධාරීන් රැසක් හිටියා. හැබැයි එයාලා නිතරම නායකත්වය ගන්න ඉඩ දුන්නෙ මට.
වාණිජ මණ්ඩලයේ සභාපතිගෙන් පසුව ඊළඟට ඔබගෙ අවශ්‍යතාවය වුණේ මොකක් ද?
ඒ දිනවල ත්‍රස්තවාදී ප්‍රශ්න නිසා අපේ ජීවිත ගැන තිබුණෙ අවිනිශ්චිත බවක්නෙ. ඉතින් ඒ කොහොම වුණත් චන්ද්‍රිකා මැතිනියගෙ රජය සහ යූ.එන්.පී ප්‍රතිපත්ති එක්ක සමගි කරවගෙන රට ගෙන යන්න අවශ්‍යයි කියන පදනම යටතේ ඒ දෙගොල්ල එකට එකතු කරවන්න නායකත්වය දුන්නා.
ඉතින් සාර්ථක වුණාද?
මුලින්ම මම ගිහින් ඒ ගැන අපේ ‘කරු’ට කිව්වා. එයත් අපේ වාණිජ මණ්ඩලයේ හිටපු චරිතයක්. චන්ද්‍රා මට මේක තනියම කරන්න බැහැ, මම ගිහින් අපේ නායකතුමාගෙන් අහලා මේකට කැමති කරවගන්නම් කියලා කරු ජයසූරිය මහතා කිව්වා. රනිල්, කරු, රවුෆ් හකීම්, ආනන්ද රාජා එක් පැත්තක, මම තමයි සාකච්ඡාව මෙහෙයවූවේ. එවකට වාණිජ මණ්ඩලයේ සභාපතිට අමතරව එකමුතු වාණිජ කමිටුවේ සභාපති වුණෙත් මම. ඉතින් අපේ කමිටු සාමාජික නිලධාරීන් සියලු දෙනාත් හිටියා. ආයතන සභාපතිවරු සහ විවිධ නිලතල දැරූ අය සිටියා. එයාලා කිව්වෙ රටේ ප්‍රශ්නය නිසා ව්‍යාපාර සියල්ල කරගන්න බැහැ කියලයි. ආයෝජකයන් එන්නෙත් නැහැ කියලා කිව්වා. අපේ මෙහෙය එතරම් සාර්ථක වුණේ නැහැ. ඒත් අපි ගත්තෙ ලොකු උත්සාහයක්. අපි රටට හොඳක් කරන්නයි හැදුවෙ.
හරි දැන් අපට කියන්නකො, ඔබ ඌව වෙල්ලස්ස කැම්පස් එක හදපු හැටි? කොහොමද ඒ අදහස ඔබට ආවෙ?
මම කිව්වෙ, වතාවක මම යුනිවර්සිටි එකකට ගිහින් ඉංජිනේරු උපාධිධාරින් රැකියාවට ගන්න ඒ අය එක්ක කතාබහ කරද්දි තමයි, රට හදන්න කලින් මේ රටේ අඩුපාඩු පවතින අධ්‍යයන අංශයක් නිර්මාණය කරන්න හිතුවෙ. ඒ වගේම එතෙක් විවිධ අංශවලින් ලබාගත්ත දැනුම සහ පළපුරුද්ද එක්ක ඒ ගැන අවධානය යොමු කරලා තිබුණෙ. ඒ වගේම ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතාගේ ඇරයුම පිට මට එතුමාගේ ‘Informatics’ සමූහයේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණා. එතැනදි තමයි අධ්‍යාපනයේ විවිධ අංශ ගැන බොහෝ දේ වෙතින් දැනුවත් වුණේ. අපේ රටේ කෘෂිකර්මාන්තයට අදාළව බොහෝ ප්‍රශ්න තිබුණා. ඒ ගැනත් මම හිතලා තිබුණෙ. රටේ කජු ප්‍රශ්න, කුරුඳු ප්‍රශ්න ඇතුළු කෘෂිකර්මාන්තයේ ප්‍රශ්න තිබුණා. ඒවාට රිසර්ච් කරලා විසඳුම් හොයන්න වයඹ – රුහුණු සහ පේරාදෙණිය වගේ සරසවිවලට ව්‍යාපෘති හඳුන්වාදීමට එදා අපට පුළුවන් වුණා. ඒ වගේ තව තවත් බොහෝ දේ අප කරමින් සිටියෙ. ඒ වන විට රජයට යුනිවර්සිටි එකක් නිර්මාණය කිරීමේ අදහස තිබුණා. ඔය අතරවාරයේදි ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ශිෂ්‍ය සංගම් පාර්ශ්ව දෙකක් අතර ගැටුමකදි සිසුන් දෙදෙනෙක් මියගියා. ඒ නිසා විශ්වවිද්‍යාලය වැහිලා ගියා. විවෘත කරන්න බලධාරීන් බය වුණේ ආයෙත් ගැටුම් ඇතිවේවි යන කාරණය නිසයි. ඒ කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමිය තාරා ද මෙල් මහත්මිය මට කතා කරලා, නැවත ජ’පුර විවෘත කරලා දෙන්න කටයුතු කරන්නය කියලා ඇරයුම් කළා. “හරි මම උදව් කරන්නම්” කීවා.
මොකක්ද ඉතින් වහපු විශ්වවිද්‍යාලය විවෘත කරන්න ඔබ කළ ක්‍රියාමාර්ගය?
මම මහාචාර්යවරු කිහිප දෙනෙක් ඉල්ලා සිටියා. ඒ වගේම සියලු ශිෂ්‍ය සංගම්වල නිලතල දැරූ අය ඒකරාශි කරලා රැස්වීමක් ඉල්ලා සිටියා. ඒ වෙලාවෙම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු වූ සුනිල් ආරියරත්න සහ නාරද වර්ණසූරිය යෝජනා කළා. ඒ දෙන්නා මගේ කමිටුවේ. දුමින්ද නාගමුව, සුජිත් කුරුවිට, මංගල හිමි ඇතුළු ශිෂ්‍ය සංගම්වල නියෝජිතයන් ඇතුළු තවත් ලීඩර්ස්ලා සාකච්ඡාවට ආවා. දවස් 5ක් එකදිගට කතා කළා. රෑට කෑමට තමයි ගෙදර ගියේ. ඔයාලගෙ ප්‍රශ්න මට පැහැදිලියි, ලිඛිතව දෙන්න කියලා එයාලට කිව්වා. එයාලා ඒවා දුන්නා. ඒ ප්‍රශ්න ඔක්කෝටම මම විසඳුම් දෙනවා, මගේ ප්‍රශ්නෙටත් ඔයාලාගෙන් විසඳුම් අවශ්‍යයි කියලා මම කිව්වා. “මට මේ විශ්වවිද්‍යාලය විවෘත කරගන්න ඕනෑ” කියලා ඒ පාර මම කිව්වා. ඒ විසඳුමේ එක ප්‍රතිඵලයක් හැටියට තමයි අදත් ජ’පුරට යාබදව පොලිස් කාර්යාලයක් ස්ථාපිතව තිබෙන්නෙ. එදා ඒ විදිහට ජ’පුර යළි විවෘත කිරීමට මුල්වෙච්ච මා ගැන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ පැසසුමට ලක්වුණා. ඒ සියල්ලෙහි ඵලයක් විදිහට තමයි අවසන ‘ඌව වෙල්ලස්ස’ කැම්පස් එක අරඹන්න මට යෝජනා කළේ.
ඇයි ඌව වෙල්ලස්ස යුනිවර්සිටි එක අවශ්‍ය වුණේ?
රටේ පළාත් නමයකටම යුනිවර්සිටි එකක් තිබුණත්, ඌවට තිබුණෙ නැහැ. මට ආරාධනා කරනකොට ඒ අලුත් විශ්වවිද්‍යාලය ඌවට කියලා දැනගෙන හිටියෙ නැහැ. උපකුලපති වෙන්න කියලා නෙවෙයි ආරාධනා කළේ. උදව් කරන්න කියලයි ඇරයුම් කළේ. ව්‍යාපෘති සම්බන්ධීකරණය වෙනුවෙන් යෝජනා කරලා තිබුණෙ. ඌව පළාතට ගිහින් ඔබට ගැලපෙන ඕනෑම තැනකින්, භූමියක් හොයාගෙන අපට ඇවිත් දැනුම් දෙන්න කීවා. මුලින්ම බැලුවෙ බණ්ඩාරවෙල. පසුව බදුල්ලෙ. අද ඌව වෙල්ලස්ස පිහිටි සරසවි භූමියට තමයි අන්තිමට හිත ගියේ. එය නිර්මාණය කිරීමට එදා මා එක්ක සිටි සමස්ත කණ්ඩායම අදත් මම සිහිපත් කරන්නෙ ඉතාම ගෞරවයෙන්. මොකද එය මගේ තනි ප්‍රයත්නයක් වුණේ නැහැ. පුදුම තරුණ පිරිසක්. එයාලා මට හොඳ ශක්තියක් වුණා.
ඔබ එක් එක් අංශවල සේවයේ නිරතවෙලා හිටියනෙ? ඒ සියලු අත්දැකීම් එක්ක මේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන හිතන්නෙ කොහොම ද? අපේ රටේ අධ්‍යයන ක්‍රමය හරිම සංකීර්ණයි කියලනෙ, සමහර අය කියන්නෙ? මේ අධ්‍යාපන ක්‍රමය උසස් වුණාට, ප්‍රායෝගික පිරිසක් බිහි නොවන බවයි සමහර අයගෙ හැඟීම?
ඔය ඔබ අහපු ප්‍රශ්නෙට සංකල්පයක් විදිහට තමයි එදා මම ‘ඌව – වෙල්ලස්ස’ කැම්පස් එක වෙනුවෙන් නව සංකල්පයක් ලබාදුන්නෙ. ඇයි අපි ළමයින්ට උගන්වන්නෙ? මේ රටේ ආර්ථිකයට දායක වන පිරිසක් අනාගතයේදි ගොඩනගන්න. අපි හිටියෙ වැඩවසම් යුගයක. ඒ අනුව පොඩි පොඩි වැඩ කාර්යාලවල කරගන්න පුළුවන් විදිහෙ ක්‍රමවේදයක් මුලදි විකාශය වුණා. ඒ කාලයේ ‘උපාධිය’ ලබාගැනීම යම්කිසි කුසලානයක් වගේ, තමාට ලැබෙන සමරු තිළිණයක් වගේ, හිතුවෙ. නමුත් මට අවශ්‍ය වුණේ මේ අධ්‍යාපන ක්‍රමය ජාතික ආර්ථිකයට ඵලදායී වන විදිහට ප්‍රායෝගික වූ ක්‍රමයක් විදිහට සකස් කරන්න. ආර්ථික සංවර්ධනයක් වෙනවා නම්, ඊට සම්බන්ධ කරගත හැකි දැනුමක් තියෙන සහ ඒ ගලා යාමට සැපයුමක් දිය හැකි පිරිසක් බිහිකළ යුතු වෙනවා. ඒ පිරිස අතරේ අපේ දේශීය ආර්ථිකයේ ඇති සම්පත් හඳුනාගත් අයත් සිටිය යුතුයි. ඒ සම්පත්වලට අගය වැඩි කරන්නෙ කොහොමද කියන අය, ඒ වගේම ඒ අගය වැඩි කරන්න තාක්ෂණය කොහොමද අවශ්‍ය කියලා වටහාගත් අය අවශ්‍යයි. වැලියු ඇඩිෂන් (Value Addition) සංකල්පය අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ උපාධිවලට එකතු කරන්න අපට පුළුවන් වුණා. මේ වගේ දේ නිසා අනාගතයේ වෙළෙඳපොළ හැසිරීම ගැන අවබෝධ කරගන්න ලැබෙනවා. අවුරුදු 15කට කලින්ම මේ රටේ තේ කර්මාන්තයට වෙන දේ මම දුටුවා. මේ නිසා මේ සියලු දේට, සාපේක්ෂව රටක් දියුණු වෙන්න නම්, රටේ අනාගතයට ඵලදායී වෙන උපාධි නිර්මාණය කළ යුතුයි. එදා අපි ඒවා හඳුන්වා දුන්නා. මෙම ක්‍රමය ඌව – වෙල්ලස්ස කැම්පස් එකට විතරක් නෙවෙයි, අපේ රටේ සමස්ත කැම්පස් පද්ධතියේ උපාධිවලට එකතු කරන්න පුළුවන්. අපට වෙලා තියෙන්නෙ, අපේ රටේ මිනිස්සු වෙනස් වෙන්න අකමැතියි. ගණිතය නම්, ගණිත විෂය විතරක් අල්ලාගෙන හිටියා. ආර්ථික නම්, ඒක විතරයි. ඒත් ඒවා තනි විෂයක් ලෙස අරගෙන අපට විසඳුම් හොයන්න බැහැ. ප්‍රශ්නයක් කියන්නෙම බහුවිධ ක්ෂේත්‍ර ගණනාවක් වෙනුවෙන් තියෙන දෙයක්. ඒ නිසා ඒ සියලු විෂයන් එකිනෙකට බැඳිච්ච ක්‍රමයක්, ප්‍රායෝගික කරවන්න වෙනවා. ‘Integrated Mindset’ සංකල්පය අවශ්‍යයි.
අගය එකතු වන, ප්‍රවාහයේ අධ්‍යාපනයක් සහිත, අන්තර් විනය එක්ක ගලා යන අධ්‍යාපනයක් අවශ්‍ය අතර සෑම උපාධි වැඩසටහනකටම, ව්‍යවසායකත්වය ඇතුළත් වන අධ්‍යාපනයක් අපට අවශ්‍යයි. ශිෂ්‍යයන් අනාගතයේදි ව්‍යවසායකයන් බවට පත්වන විදිහෙ උපාධි ඉගෙනුමක් අවශ්‍යයි. එය හඳුනා නොගන්නා තෙක් ඔවුන්ට රුපියල් - සත ගැන අවබෝධයක්, අගයක් නොවැටහේවි. ඔවුන් විද්‍යාව, ආර්ථිකය, තාක්ෂණය දැන සිටින්නට පුළුවන්. ඒත් එය රුපියල් සහ සතවලට හරවන්න බැරි නම්, එයින් ඇති ප්‍රායෝගිකත්වයක් නැහැ. ඒ නිසා තමයි ඌව වෙල්ලස්ස ලංකාවේ පළමු ව්‍යවසායකත්වයේ යුනිවර්සිටි බවට පත් කළේ. විශ්වවිද්‍යාල පද්ධතියට ව්‍යවසායකත්වය කියන වචනය ගෙනාවේ අපි.
මේ දැනුම් සම්භාරයට සාපේක්ෂව ලංකාවේ ආර්ථිකය ගැන ඔබට මොනවද කියන්න පුළුවන්? ලංකාවේ ආර්ථිකය කඩා වැටිල ද? කොහොම ද ඔබ එය අරුත් ගන්වන්නෙ?
කඩා වැටුණාම නෙවෙයි, එය අපේක්ෂා කළ දෙයක්. ඒ කියන්නෙ අපට ලැබෙන සෑම රුපියලක්ම අපි වියදම් කළේ පරිභෝජනයට විතරයි. ඊළඟ වසරේ පරිභෝජනයට අපි ණයට ගන්න පුරුදු වුණා. ආයෙ ආයෙත් එයම අනුගමනය කළා. පරිභෝජනයයි වියදමයි අතර වෙනස පියවාගන්න තමයි ලංකාව හැමදාම ණය ගත්තෙ. දිගින් දිගටම ණය අරගෙන ආවා. අන්තිමට කොවිඩ් එනකොට ඒ හා සබැඳි තවත් ප්‍රශ්න ආවා. ගොවීන්ට මෝඩ විදිහට කාබනික පොහොර ක්‍රමය ගේන්න ගිහින් වැඩේ කා ගත්තා. අපෙන් ඇහුවා නම්, අපි ඒක කරන්න එපා කියනවා. කොහොම වුණත් ආදායමට වැඩිය වියදම තියෙනකොට සංවර්ධනය කරා යන්න බැහැ. අපේ රටේ මංමාවත් - යටිතල පහසුකම් යුද්ධයෙන් පසුව නිර්මාණය වුණා. ඒවා හොඳයි. ඒත් ඒවායේ ප්‍රතිඵල දවසින් දෙකෙන් ගන්න බැහැ. ඒවායින් ආදායම ගලා එන්නෙ වසර 25ක් 30ක් ගියාමයි. ඒ නිසා ණයට ලැබෙන මුදල්වලින්, මූලිකව බලන්න වෙන්නෙ අපි ඒවා කෑමට විතරක් යොදනව ද කියලයි. ණය ගන්නෙ කෑමට වෙන්න බැහැ. අපට කෑම සපයා ගන්න අපිම උපයා ගත යුතුයි. ණයට ගන්න ඕනෑ තවත් ආයෝජනයක් කරලා එයින් ලාභයක් නැවත ගන්න පුළුවන් නම් විතරයි. ඒ ලාභාංශවලින් කෑමට කොටසක් ගන්නත් පුළුවන්. ඒ දේවල් තාමත් වෙලා නැහැ. අපේ ඛනිජ සම්පත්, සංචාරක සම්පත් සහ කෘෂි සම්පත්වලට අපි ආයෝජනය කරලා නැහැ. ඒවාට ආයෝජනය කරලා තිබුණා නම්, අද අපට මේ විදිහට කතා කරන්න වෙන්නෙ නැහැ.
ඔබත් රාජ්‍ය සේවයේ යෙදී සිටි මෙවැනි අවංක අත්දැකීම් ඇති නිලධාරී මට්ටමේ, පරිපාලන අංශයේ චරිතයක් නම්? මෙවැනි අත්දැකීම් ඔබට ඇත්නම් ඉරිදා ලංකාදීප අපට කතා කරන්න. එවැනි විශ්‍රාමික සුපිරි තරු ගැන විස්තර දන්වන්න.
[email protected]
අපගේ ඊමේල් ලිපිනයයි.
සාකච්ඡා සටහන
සඳුන් ගමගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd