රාත්‍රිය මුළුල්ලේද රත්නපුර කළුගඟ නිහඬව ගලා යයි. එහි දිය මත ඉදිවන විශිෂ්ට පොසොන් තොරණ, හුදෙක් විදුලි බුබුළු රටාවක් නොව, ශ්‍රී සම්බුද්ධ ශාසනයේ අගනා පණිවිඩයක් ජනතාව වෙත ගෙන එන ආලෝකවත් නිර්මාණයකි. 

මෙවර රත්නපුර කළුගඟේ ඉදිවූ පොසොන් තොරණ කාගේත් කතාබහට ලක්වූයේ එහි විචිත්‍රවත් බව නිසා පමණක් නොවේ. පොසොන් පුර පෝය දින උදෑසන ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ කළු ගඟ හරහා ගසාගෙන ආ දැවැන්ත ගස්වල මුල්, අතු සහ කොටන් රැසක් තොර​​ෙණ් ගැටී එය විනාශ වීමේ දැඩි අවදානමක් මතුවීමෙනි. ඒ මොහොතේ ගම්මානයේ තරුණයෝ කිසිදු පසුබෑමකින් තොරව වැසි දියත්, වේගවත් ගං දියත් නොතකා ගඟට බැස්සාහ. තමන්ගේ ජීවිත පවා අවදානමට ලක්කරගනිමින්, එකිනෙකාගේ දෑත් ශක්තිමත් කරගනිමින්, ගසාගෙන ආ දැවැන්ත ගස් කොටන් සහ අතු ඉවත් කිරීමට ඔවහු නොනවත්වා වෙහෙසුණහ. එය තොරණක් බේරාගැනීමේ උත්සාහයක් පමණක් නොවීය. ගමේ එකමුතුකම, පොසොන් භක්තිය සහ ස්වේච්ඡා සේවයේ සැබෑ වටිනාකම ලියැවුණු ජීවමාන කතාවක් බවට එය පත්විය.

"අපි රත්නපුරේ පොසොන් තොරණ ඉදිකරන්නේ දැන් වසර පහළොවක පමණ කාලයක සිටයි. කළුගඟ මැද තොරණ ඉදිකරන්න පටන් ගත්තේ මීට වසර හතරකට පෙරයි. එදා ඉඳලා සෑම වසරකම ගඟ මැදම තොරණ ඉදිකරනවා. මුවගම සිරි විසුද්ධාරාම දහම් පාසල සහ Friends Life තරුණ සංවිධානය එක්ව 'සදහම් පූජා' නමින් පොසොන් කලාපයක් සංවිධානය කළා. මේ වසරෙත් පොසොන් පෝයට සති තුන හතරකට පෙර ඉඳලම මේ තොරණේ වැඩ ආරම්භ කළා. සෑම වසරකම වගේම මෙවරත් තොරණ ඉදිකරන කාලයේ වර්ෂාවත් සමඟ කළු ගඟ ජල මට්ටම ඉහළ ගියා. ඇත්තටම ගඟ මැද තොරණ ඉදිකරපු හැම අවුරුද්දකම වගේ ජල මට්ටම ඉහළ යනවා. ඒ අත්දැකීම නිසාම එවැනි හදිසි තත්ත්වයකට මුහුණ දෙන්න තරුණ පිරිසක් කලින්ම සූදානම් කරලා තිබුණා. පොසොන් පෝය දවසේ උදෑසන ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ ගඟ දිගේ විශාල ගස් මුල්, ගස් කඳන් සහ අතු කොටන් ගසගෙන ආවා. ඒවා තොරණේ ගැටුණා නම් විශාල හානියක් වෙන්න තිබුණා. නමුත් කිසිම පසුබෑමක් නොපෙන්වූ අපේ තරුණයන් වහාම ගඟට බැහැලා පීනමින් ඒ සියල්ල නිසි ආකාරයෙන් ඉවත් කළා. ඒ නිසා තොරණට කිසිදු හානියක් නොවී ආරක්ෂා කරගන්න අපට හැකි වුණා." යැයි Friends Life තරුණ සංවිධානයේ සාමාජිකයෙක් ඉරිදා ලංකාදීපය සමඟ පැවසීය.

"සෑම වසරකම මෙන්ම මෙවරත් රත්නපුර පොසොන් කලාපයේ වැඩ කටයුතු ආරම්භ කළේ සුබ මොහොතින්. පනාමුරේ පඤ්ඤාලංකාර හිමිපාණන්ගේ ආශීර්වාදය ලබා, රත්නපුර අඩවිය භාර සමන් දේවාලයේ ආශිර්වාදයද මැද, විහාරස්ථානයේ පැවැත්වූ පුණ්‍ය කටයුතු නිමවමෙන් අනතුරුව තොරණ ඉදිකිරීම ආරම්භ කළා.

කළුගඟ මැද ඉදිවූ මේ තොරණ ඉදි කළේ ඔරුකඳන් දහඅටක් මතයි.

"මේ  සඳහා ඔරු දහඅටක් පමණ ප්‍රමාණයක් යොදා ගත්තා. තොරණ ඉදිකිරීමට පෙරම කේබල් ආධාරයෙන් ඔරු සියල්ල එකට ශක්තිමත්ව බැඳ තැබුවා. ඒ මත පලංචි සකස් කරලා තමයි තොරණ ඉදි කළේ. සුළඟින් හෝ ගං දියේ සැඩපහරින් තොරණට හානියක් නොවෙන්න කඹ ආධාරයෙන් ගං ඉවුරේ ගස්වලට තොරණ සවි කරලා තිබුණා. පොසොන් පෝය දින උදේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ තත්ත්වය තවත් අවදානම් වුණා. ඒ නිසා අපි වහාම තවත් කඹ කිහිපයක් යොදා තොරණේ ආරක්ෂාව තවත් ශක්තිමත් කළා.' යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

පොසොන් පුර පෝය දින උදෑසන රත්නපුරයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. ගංවතුර තත්ත්වයක් ඇතිවෙතැයි බියක්ද පැතිර ගියේය. ඒ සමඟම ගම්වාසීන්ගේ සියලු අවධානය යොමුවයේ කළුගඟ මැද ඉදිවෙමින් තිබූ පොසොන් තොරණ වෙතය.ගම බොහෝ දෙනෙක් මුවගම ප්‍රදේශයටත්, තවත් පිරිසක් මුවගම පාලම අසලටත් රැස්වූයේ, සැඩ පහරත් සමඟ වගයෙන් ගසාගෙන එන දැවැන්ත ගස් කඳන්, මුල් සහ අතු කොටන්වලින් තොරණ ආරක්ෂා කර ගැනීමට තරුණයන් නොබියව ගඟට බැස තොරණ වටා රැඳී සිටි බැවිනි. ඔවුන්ගේ කැපවීම එදින රැස්ව සිටි සැමගේ ප්‍රශංසාවට ලක්විය. උදෑසන සිට ඇදහැළුණු අධික වර්ෂාව සවස් වන විට සම්පූර්ණයෙන්ම නතර වී තිබිණ. අනතුරව ආලෝකයෙන් බැබළුණු ගඟේ තොරණ රත්නපුර නගරයට අපූරු අසිරියක් එක් කළේය.

මෙවර ගඟේ තොරණ නිර්මාණය කර තිබුණේ සුභා තෙරණියගේ කථාව ඇසුරිනි. එමෙන්ම ගඟේ තොරණට අමතරව, ඔරුවක් මත නිර්මාණය කළ අඩි 18ක් පමණ උසැති දැවැන්ත නෙළුම් මල ද නරඹන්නන්ගේ විශේෂ අවධානය දිනාගත් තවත් අපූරු නිර්මාණයක් විය.

"මේ ගඟේ තොරණ අපි දැන් අවුරුදු හතරක් තිස්සේ කරනවා. ඒ අවුරුදු හතරේම විදුලි ආලෝක නිර්මාණය කළේ  ප්‍රියන්ත ඉලෙක්ට්‍රිකල්ස් ආයතනයෙන්. මේ පාර තොරණට විදුලි බල්බ තිස් දාහක් විතර යොදා ගත්තා.

මීට අවුරුදු පහකට විතර කලින් මෙතන ගඟ මැද පෙරහරක චෛත්‍යයක ආකෘතියක් හදලා තිබුණා. එදා තමයි මම කිව්වේ "මෙතන තොරණක් හැදුවොත් කොච්චර ලස්සන වෙයි ද" කියලා. ඒ අදහසෙන් තමයි අවුරුදු හතරකට කලින් පළවෙනි ගඟේ තොරණ හැදුවේ. පළවෙනි අවුරුද්දෙම අඩි තිහක් විතර ගංවතුරක් ආවා. එදාත් මේ ගමේ තරුණයෝ තමනගේ ජීවිතත් නොතකා තොරණ බේරගත්තා. මම ඉන්නේ පිළියන්දල මකුළුදූවේ. මට පිහිනන්න බැහැ. ඒ නිසා මම ජීවිතාරක්ෂක කබායක් ඇඳගෙන තමයි වැඩ කළේ. හැබැයි මේ තරුණයෝ නම් කිසිම බයක් නැතුව කළු ගඟට බැහැලා තොරණ බේරගන්න වැඩ කළා. ඒ කැපවීම දැක්කාම ඇත්තටම පුදුමයි.

විදුලිය සම්බන්ධ වැඩවලදී මම ගොඩක්ම සැලකිලිමත් වුණා. ගොඩබිම ඉඳලා තමයි ප්‍රධාන විදුලි සැපයුම දුන්නේ. පාවිච්චි කළේත් අලුත්ම වයර් සහ උපකරණ. විදුලිය, ජලය සහ යකඩ එකට තියෙන වැඩක් නිසා කිසිම අවදානමක් ගන්න බැහැ. ඒ නිසා යම් හදිසි තත්ත්වයක් ආවොත් එක පාරටම විදුලිය විසන්ධි කරන්න පුළුවන් විදිහටම පද්ධතිය සකස් කරලා තිබුණා. මේ තොරණ ලස්සනට නිම කරන්න ලොකුම ශක්තිය වුණේ මේ තරුණ පිරිස. එයාලා ගොඩක් මහන්සි වුණා. ඒ කැපවීම නිසා තමයි අද හැමෝම කතා කරන මේ නිර්මාණය බිහිවුණේ." යැයි ගඟේ තොරණේ විදුලි ආලෝක නිර්මාණය කළ ප්‍රියන්ත ඉලෙක්ට්‍රිකල්ස් ආයතනයෙහි  ජානක ප්‍රියන්ත ඉරිදා ලංකාදීපය සමඟ පැවසීය.

සැඩ පහර මැද කළු ගඟ දිගේ ගසාගෙන ආ අතු, මුල් සහ ගස් කඳන් මැදින් නොබියව පීනමින් තොරණ රැකගත් ඒ ගමේ තරුණ පිරිසගේ කැපවීම, එදින රැස්ව සිටි සියලු දෙනාගේ නෙත් අබියස සජීවී වීරකතාවක් බවට පත්විය. ජීවිත අවදානමක් පවා නොසලකා, ගමේ අභිමානය රැකගැනීමට වසරක් පාසා ඔවුන් දැරූ උත්සාහය, හුදෙක් තොරණක් බේරාගැනීමක් නොව, එකමුතුකම සහ භක්තියෙන් පිරුණු සමාජ වටිනාකමක් ඉස්මතු කළ අවස්ථාවක් විය.

කළුගඟේ සැඩ දිය සන්සුන් වීමත් සමඟම, පොසොන් අසිරිය නැවතත් නගරය පුරා විහිදී ගියේය. ඒ සියලු කැපවීම් අතර, රත්නපුර අඩවිය භාර සමන් දෙවියන්ගේ ආශිර්වාදයද මෙම පූජනීය කටයුත්තට ලැබුණු බව බැතිමතුන්ගේ විශ්වාසය විය.

දිශානි ජයමාලි කරුණාරත්න