වසර තිස් හතරක් තිස්සේ සුවහසක් රෝගීන්ගේ ජීවිත දානය වෙනුවෙන් ලේ දන් දීමේ නිරතව සිටින අපූරු මිනිසකු මහනුවර ජාතික රෝහලේ පිහිටි ලේ බැංකුවට පැමිණියේ 101 වෙනි වතාවට ලේ පරිත්‍යාග කිරීම සඳහාය. මේ මහඟු‍ උතුම් පුණ්‍ය කර්මයේ නිරතව සිටින්නේ   මහින්ද වික්‍රමරත්න  බණ්ඩාරය.

පේරාදෙණියේ  පිහිටි ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන නිලධාරියකු ලෙස රැකියාව කරන මහින්ද කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙකි.දක්ෂ මලල ක්‍රීඩකයකු වන ඔහු රෙස්ලින් ක්‍රීඩාව වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින්  1993 වසරේ පකිස්ථානයේ පැවති සාක් ක්‍රීඩා උලෙළටද සහභාගී වී ඇත.

මස් මාළු අනුභව නොකිරීම ඔහුගේ ඇති විශේෂත්වයක් වශයෙන් හැඳින්විය හැක. නාපාන මඩවල ප්‍රදේශයේ  මහින්ද පදිංචිව සිටියි.

මහනුවර ජාතික රෝහලේ පිහිටි ලේ බැංකුවට ලේ පරිත්‍යාග කිරීමට පැමිණි අවස්ථාවේ ඔහු පරීක්ෂා කරනු ලැබුවේ එහි ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ජනක ජයසූරිය විසිනි.

අදාළ පරීක්ෂණවලින් අනතුරුව ලේ දන්දීමට සුදුසු නිරෝගී තත්ත්වයේ පසුවන බවට වෛද්‍ය, ජනක ජයසූරිය තහවුරු  කිරීමෙන් අනතුරුව මහින්ද  එක එකසිය එක්වැනි වතාවට ලේ පරිත්‍යාග කරනු ලැබුවේ තවත් අසරණ රෝගීන් කිහිප දෙනකු ගේ ජීවිත බේරා ගැනීමේ උදාර අරමුණ ඇතිවය.

ඒ මේ ජූලි මස පළවෙනිදාය. නාපාන පදිංචිව සිටින මහින්ද  දියණියන් දෙදෙනකුගේ සහ පුතකුගේ ආදරණීය පියෙකි. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන මහින්ද වසර 28ක කාලයක් තිස්සේ සිට  නාපාන විවේකාරාම විහාරස්ථානයේ ශ්‍රී ගෝතම දහම් පාසල් ආචාර්යවරයෙක් ලෙසද කටයුතු කරයි.ඔහුගේ බිරිඳ නායනා පෞද්ගලික ආයතනයක සේවයකරයි.

සියවැනි වතාවට ඔහු ලේ පරිත්‍යාග කිරීම සිදුකරනු ලැබුවේ බලගල පොත්ගුල් රජ මහා විහාරස්ථානයේ පැවැති ලේ දන්දීමේ කඳවුරක් පැවති අවස්ථාවේය.එකසිය එක් වැනි වතාවටත් ලේ පරිත්‍යාග කිරීමට පැමිණි මහින්ද වෛද්‍ය, ජනක ජයසූරිය විසින් හඳුන්වා දෙනු ලැබුවේ ඔහු කරන මේ රුධිර පරිත්‍යාගය මහත් සේ අගය කරමිනි .

“මම කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ඉගෙන ගන්නා කාලයේ අපිත් එක්ක එක බැච් එකේ හිටිය පාලිත ගමගේ හදිසියේ රෝගාතුර වෙලා එයාට ලේ අවශ්‍ය වුණා.සරසවියේ එකට හිටිය යාළුවෝ ගොඩක් දෙනෙක් එයා වෙනුවෙන් ලේ පරිත්‍යාග කරන්න ඉදිරිපත් වුණා.ඒ කණ්ඩායමේ මමත් හිටියා.1995 වසරේ මම පාලිත වෙනුවෙන් ලේ පරිත්‍යාග කළා. ඒ තමා මම මුල් වරට ලේ පරිත්‍යාග කිරීමක් සිදු කළේ”

මහින්ද කතා බහට එක්විය.තවදුරටත් ඒ හා සම්බන්ධ තොරතුරු අනාවරණය කරමින් ඔහු මෙසේ ද පැවසීය.

“මගේ මිතුරාගේ ජීවිතය බේරා ගන්න එදා මුල් වරට ලේ පරිත්‍යාග  කළ මම එතැන් පටන් මේ වනතුරුත් මාස හතරකට වරක් අනිවාර්යයෙන්ම ලේ දන්දීම සිදුකරනවා.මුල් වතාවට මිතුරාගේ ජීවිතය බේරා ගැනීමට ලේ පරිත්‍යාග කිරීමෙන් පසුව මට පුළුවන් තරම් කාලයක් දොස්තර මහත්වරු කියනකම් ලේ දන් දෙන්න අධිෂ්ඨාන කරගත්තා.මේ මගින් මම ලොකු ආත්ම තෘප්තියක් ලබනවා. ඒ විතරක් නෙමේ ලේ පරිත්‍යාග කිරීම මගින් මගේ හිතට කියන්න බැරි තරම් ලොකු සහනයක් සැහැල්ලු‍වක් ලැබෙනවා.ඒ ගැන කියන්න මට වචන නැහැ.

මම රුධිරය විතරක් නෙමේ රුධිර පට්ටිකා පවා හත් අට වතාවක් රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා.කොළඹ ජාතික රෝහලට, පොළොන්නරුව මහ රෝහලට සහ මහරගම අපේක්ෂා රෝහලට ලේ සහ රුධිර පට්ටිකා පරිත්‍යාග කර තිබෙනවා.මේ මගින් සිය ගණනක් රෝගීන් සුවපත් කිරීමට දායක වීම ගැන මට ඇත්තේ කියන්න බැරි තරම් ලොකු සතුටක්.

ජාතික රුධිර  පාර විලයන දිනය සෑම වසරකම ජූනි මස 14 වැනිදා පැවැත්වෙනවා. මම කරගෙන යන රුධිර පරිත්‍යාග කිරීම අගයමින් නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාර විලයන මධ්‍යස්ථානය සහතික පත්‍රයක්ද පිරිනැමුවා.

බිරිඳ සහ දරුවන් තුන්දෙනා මාව දිරිමත් කරනවා.මට දියණියන් තිදෙනෙක් ඉන්නවා .පුතා තමා බාලයා. අවුරුදු 18 සම්පූර්ණ වුණාට පස්සේ තමා කෙනකුට ලේ දන් දෙන්න පුළුවන්.අප්පච්චි මමත් අවුරුදු 18 ට සම්පූර්ණ වුණාම ගමන් ලේ දන් දෙන්න පටන් ගන්නවා.මම අප්පච්චිගේ රෙකෝඩ් එක කඩනවා යැයි පුතා පවසනවා.ලේ පරිත්‍යාග කිරීමට දැන්ම ඉඳන් මගේ වගීෂ නිර්මාල් පුතා සූදානම් වීම ගැන මට ඇත්තේ කිව නොහැකි සතුටක්. බිරිඳ අවස්ථා කිහිපයකදී මේ වනවිට ලේ පරිත්‍යාග කර තිබෙනවා.

රුධිරය විතරක් නෙමේ. රුධිර පට්ටිකා දෙන්නත් මම සහතික පත්‍රයකට අත්සන් කර තිබෙනවා.ඒ නිසා රෝහල්වලින් මට කතා කරනවා.”

සියවැනි වතාවට මහින්ද ලේ පරිත්‍යාග කර ඇත්තේ බලගල පොත්ගුල් රජමහා විහාරස්ථානයේ පැවැති ලේ දන්දීමේ කඳවුරකදීය.

“අපි කවුරුත් මනුස්සයෝ.සිංහල, මුස්ලිම්, දෙමළ හෝ බර්ගර් කියලා ලේ වර්ග නැහැ. මේ කොයි ජාතියට අයත් කෙනෙක් උනත් ලේ පරිත්‍යාග කළාම ඒවා මේ කියන  කොයි ජාතියේ රෝගී වෙලා ඉන්න ලේ අවශ්‍ය කෙනකුට වුණත් දෙන්න පුළුවනි.

සමහරු ලේ දෙන්න යන්න බයයි. සමහර දෙමව්පියෝ දරුවෝ ලේ දෙන්න කැමැත්තෙන් පසු වුණත් ඉඩ දෙන්නේ නැහැ.ඒ තමාගේ දරුවා ලෙඩ වෙයි කියලා බයටයි.එහෙම කිසිම දේකට බයවෙන්න දෙයක් නැහැ.ලේ පරිත්‍යාග කළයි කියලා රෝගී වෙන්නෙත් නැහැ.

එකසිය එක් වතාවක් ලේ දන් දීලත් මට කිසිම රෝගයක් නැහැ. බොහොම නිරෝගී කෙනෙක්.ලේ පරිත්‍යාග කිරීම නිරෝගී කමටත් ඉවහල් වෙනවා කියලා මම තදබල ලෙස විශ්වාස කරනවා.ඒ නිසා මම විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි .අසරණ රෝගීන් වෙනුවෙන් ලේ පරිත්‍යාග කරන්න ඉදිරිපත් වෙන්න.දොස්තර මහත්තුරු ලේ දන් දීමට සුදුසු තත්ත්වයේ ඉන්නවාද කියලා පරීක්ෂා කර බලා ලේ ගැනීම සිදුකරයි. මට මේ පණිවිඩය විශේෂයෙන්ම සමාජයට දෙන්න ඕනා.”

ඒ මහින්දගේ හඬයි.මහින්ද අවුරුදු හැට පිරී රැකියාවෙන් විශ්‍රාම යන්නේ ලබන වසරේ මාර්තු මාසයේ 29 වැනිදාය.

“ලේ පරිත්‍යාග කරන්න පුළුවන් අවුරුදු 18 සම්පූර්ණ වෙලා හැට පිරෙනකම් විතරයි.පස්සේ ලේ පරිත්‍යාග කරන්න පුළුවන්කමක් නැහැ. මට තව තුන් පාරක් විතර ලේ දෙන්න පුළුවන් වේවි.ඒත් මම නිරෝගීව ඉන්න නිසා ලේ ගන්නවා නම් ඉදිරියටත් ඒ සඳහා ඉදිරිපත් වෙන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා.”

ඒ මහින්දගේ මනුෂ්‍යත්වයේ හඬයි. අසිරිමත් උදානයයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය