IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


වෙන් වෙන්නම කපා දැමූ අතක් බද්ධ කළ විස්මිත සැත්කමක්

 

 

‘තිලකේ මගේ අත කපා දැම්මා. අත් කෑල්ල ගෙදර සාලයේ වැටිලා තියෙනවා. අනේ මොනවා හරි කරන්න. මාව බේරා ගන්න.’  


අතකින් කොටසක් අහිමිව ගිය කාන්තාවක් අල්ලපු ගෙදරට දුවගෙන ඇවිත් හඬා වැටෙමින් කීවාය.  


අත කැපී ගොස් තිබූ තැනින් ලේ වහනය වෙමින් තිබිණි.  


ඇය සිටියේ ඉවසාගත නොහැකි වේදනාවකිනි.  


මේ දර්ශනය දුටු ඒ​ ගෙදර උදවිය ද බියට පත්වූහ.
  


අල්ලපු ගෙදර සිටි පිරිමි පුද්ගලයෙකු වහා කාන්තාවගේ ගෙදරට දිවගොස් සාලය මැද වැටී තිබුණ අත කොටස අහුලාගෙන ඒ ගෙදර තිබූ ශීතකරණය තුළට දමා ඇත.  
‘තිලකයා කඩුවක් අරගෙන ගෙදරට ආවා. ඌත් එක්ක පැනලා යන්න කතා කළා. දරුවෝ තුන් දෙනෙක් ඉන්න නිසා බැහැ කිව්වාම එක පාරටම කඩුවෙන් කෙටුවා. මම ඒ පහර වළක්වා ගන්න හිතාගෙන දකුණු අත ඉහළට එසෙව්වා. එතකොට කඩුපහර අතට වැදිලා වැලමිටට පහළින් වෙන්වී ගියා.’ යැයි කාන්තාව වේදනාවෙන් මිරිකෙමින් පැවැසුවාය.   
සිරුරෙන් වෙන්වී ගොස් තිබූ අත් කොටස ශීතකරණය තුළට දැමූ පුද්ගලයා ගමේ අහළ පහළ අයට ද සිද්ධිය දැනුම් දී කුඩා ලොරි රථයක් සොයාගෙන පැමිණ අතෙන් කොටසක් අහිමි වී ගිය කාන්තාව එම ලොරි රථයේ දමා ආණමඩුව රෝහල වෙත පිටත්කර යවා ඇත.  


 ශීතකරණයේ මෙතෙක් වෙලා බහා තිබූ අත් කොටස එයින් ඉවතට ගෙන එය අයිස් සහිත බෑගයක බහා තරුණයන් දෙදෙනෙක් එම අත්කොටස යතුරුපැදියකින් ආණමඩුව රෝහලට ගෙන ගොස් එහි වෛද්‍යවරයාට බාර දී තිබේ.  


සිරුරෙන් වෙන්ව යන ආකාරයට කඩුවකින් අත කපා දමා තිබුණේ කරුවලගස්වැව පොලිස් වසමේ පදිංචි 36 හැවිරිදි තිදරු මවක් වූ කාන්තාවකගේය.  


ආණමඩුව රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය කාන්තාවට අවශ්‍ය මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දී කඩිනමින් ඇය හා අත්කොටස ගිලන් රථයකින් පුත්තලම මූලික රෝහල වෙත පිටත්කර යවා ඇත.  


 මෙම කාන්තාවගේ දකුණු අත වැලමිටට පහළින් වෙන්වී ගොස් තිබුණා. පුත්තලම රෝහලට ගෙනාවට පස්සේ ඇයට වැඩිදුර ප්‍රතිකාර ලබා දුන්නා. සිරුරෙන් වෙන් වී ගොස් තිබූ අත් කොටස ඇයට නැවත බද්ධ කිරීමට සුදුසු තත්ත්වයට ශල්‍ය වෛද්‍යවරුන් විසින් පත්කළා. ඊට පස්සේ ඇය හා අත්කොටස කොළඹ ජාතික රෝහලට පිටත්කර යැව්වා.  
පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය මේ බව පැවසුවාය.  

 

අපරාධය සිදු කළ කඩුව

 


අතක්, කකුලක් හෝ කනක් සිරුරෙන් කැඩී වෙන්වී ගිය පසු එය අයිස් සහිත බෑගයක බහා කඩිනමින් රෝහලට ​රැගෙන ඒමෙන් පසු එම කොටස ශල්‍යකර්මයකින් නැවත බද්ධ කිරීමේ හැකියාව බොහෝ දුරට ඇත.  


අයිස් සහිත බෑගයක එම සිරරු කොටස බහා තැබීමෙන් එහි තිබෙන සෛල විනාශයට පත් නොවීම නිසා එය නැවත බද්ධ කිරීමේ හැකියාවක් තිබෙන බව ශල්‍ය වෛද්‍යෙ විශේෂඥවරු පෙන්වා දෙති.  


එම අත්කොටස අයිස් සහිත බෑගයක දමා කාන්තාවත් සමග කඩිනමින් රෝහල් ගත කිරීමට මැදිහත් වූ සියලු දෙනාට ප්‍රශංසාව පළකරනවා. ඔවුන් ඉතාමත් බුද්ධිමත් ලෙස කටයුතු කිරීම නිසා අත නැවත බද්ධ කිරීමට සුදුසු තත්ත්වයට පත්කිරීමට ශල්‍ය වෛද්‍යරුන්ට හැකියාව ලැබුණා යැයි පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අබ්දුල් වාජිත් මහතා පැවැසීය.  


කොළඹ ජාතික රෝහලේදී මෙම කාන්තාවගේ සිරුරෙන් වෙන්වී ගොස් තිබූ අත් කොටස ඇයට ශල්‍ය කර්මයක් සිදුකර බද්ධ කරනු ලැබුවේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ දිලීප පෙරේරා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසිනි.  


කැපී ගිය අත නැවත ශල්‍යකර්මයකින් බද්ධ කෙරුණු කාන්තාව කොළඹ ජාතික රෝහලේ වාට්ටුවක සුවය ලබමින් පසුවන බව එම රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.  
 අනියම් සම්බන්ධතාවයක අවසන් ප්‍රතිඵලය වූයේ කාන්තාවට ඇයගේ දකුණු අත අහිමි වීමය.  


ශල්‍ය වෛද්‍ය විශේෂඥයින්ගේ දස්කම් නිසා අහිමි වී ගිය අත යළි ඇයට හිමි විය.  


අත්අඩංගුවට ගත් සැකකරු 52 වියේ පමණ පසුවන තිදරු පියෙකි.  


සැකකරුගෙන් හෙළිකරගත් තොරතුරු මත පොලිස් පරීක්ෂක අලවත්ත මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් ජලය සිඳී ගොස් තිබූ වැවක මඩ ගොහොරුවක සඟවා තිබූ කස්තානයක් ආකාරයට සකසා තිබූ කඩුවක් සොයාගනු ලැබිණි.  


කාන්තාවට කොටා ඇත්තේ මෙම තියුණු ආයුධයෙන් බව කියති.  


පොලිසිය කොටුකරගත් සැකකරු හේන් ගොවිතැන් හා කුලීවැඩ කර ජීවිකාව ගෙන යන අයෙකි.  


කැපී වෙන්වී ගොස් තිබූ අත යළි කාන්තාවට බද්ධ කිරීමට හැකි වුණේ ඇය පදිංචිව සිටි ගමේ අසල්වාසීන් අයිස් බෑගයක බහා සුරක්ෂිත ලෙස රෝහලට ගෙන යාම නිසාය.  
ඒ නිසා ඔවුන්ට ද මෙහි ගෞරවය හිමිවිය යුතුය.  


කාන්තාවගේ අත කඩුවකින් වෙන්වන ලෙස කපා දමා පලා ගිය පුද්ගලයා අල්ලා ගැනීමට හැකිවූයේ කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජීව අලවත්ත මහතා ගත් උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙනි.  


මම අවුරුදු දෙකක විතර ඉඳලා ඔය කාන්තාව එක්ක අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ආවා. මම ඇයට රත්තරන් බඩු පවා සාද‌ා දී තිබෙනවා. පසුගිය දවස් කිහිපයේම අපි දෙන්නා අතරේ ආරාවුල් තිබුණා. සිද්ධිය වෙච්ච දවසේ උදේම මම ඇයගේ නිවෙස ළඟ තියෙන වෙල්යායේ හැංගිලා සිටියා. එයාගේ සැමියා වැඩට ගියා. දරු තිදෙනාත් ඉස්කෝලේ ගියා. ඊට පස්සේ මම කඩුවත් අරගෙන ගෙදරට ගියා. අපි දෙන්නා අතර බහින් බස්වීමක් වුණා. මම කඩුවෙන් කෙටුවා. ඊට පස්සේ පැනලා ගියා.  


පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු එහෙම කියා ඇති බව දැනගන්නට ඇත.  


සිද්ධියට අදාළව කාන්තාවගෙන් තවමත් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට නොහැකි වී ඇත්තේ ඇය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන නිසාය.  
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 08 වැනිද‌ා දක්වා රිමාන්ඩ් බාරයට පත්කෙරිණි.  


පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ පුත්තලම කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.එස්. ජයමහ මහතාගේ උපදෙස් මත පුත්තලම සහකාර පොලිස් අධිකාරි එච්.එම්.සී.පී. හේරත් මහතාගේ මෙහෙයවීම යටතේ කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජීව අලවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වා ඇත.  


පොලිස් සැරයන්වරුන් වන ගුණතිලක (34092), තෙන්නකෝන් (41198), ජයවර්ධන (48263), කොස්තාපල්වරුන් වන ලලිත් (41345), අජිත් (74981), දුමින්ද (77211) සහ සිල්වා (83034) යන මහත්වරුන් ද මෙම පරීක්ෂණවලට හවුල් වී ඇත.

 

 

සටහන :
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය



අදහස් (0)

වෙන් වෙන්නම කපා දැමූ අතක් බද්ධ කළ විස්මිත සැත්කමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site