IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ස්වීඩනය පරිගණකයෙන් ආපසු පොතට

 

  • සිසුන්ගේ ඉගෙනීමේ දුර්වලතා කොරෝනා වයිරස් වසංගතයේ ප්‍රතිඵලයක් විය හැකි බවත් පමණට වඩා පරිගණක තිරය සමඟ කටයුතු කිරීමෙන් ද දුර්වලතා ඇති විය හැකි බවත් අධ්‍යාපන විශේෂඥයන් ප්‍රකාශ කර ඇත. එම නිසා සිසුන්ට ඩිජිටල් මෙවලම් මගින් දැනුම ලබා ගන්නා ක්‍රමයකට වඩා නැවතත් සම්ප්‍රදායික පෙළ පොත් සහ ගුරුවරයාගේ දක්ෂතාව මත දැනුම ලබා ගන්නා ක්‍රමයක් සිසුන් වෙනුවෙන් සකස් විය යුතු බව අධ්‍යාපන විශේෂඥයන් පෙන්වා දී තිබේ

මීට වසර 5000 කට පමණ පෙර ලිවීම සොයා ගැනීමත් සමඟ එතෙක් මිනිසුන් වාචිකව ප්‍රකාශ කළ සෑම දෙයක්ම ලිඛිත ස්වරූපයෙන් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබිණ. යොහාන්නස් ගුටන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය සොයාගැනීමත් සමඟ 15 වැනි සියවසේදී මුද්‍රණ විප්ලවයක් ඇති විය. එමගින් ඉක්මනින් හා ලාභදායී ලෙස මුද්‍රිත පොත් විශාල වශයෙන් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබිණි.


මීට වසර 15කට පමණ පෙර ඇති වූ ඩිජිටල් විප්ලවයත් සමඟ පොත් බැලීම සහ කියවීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ඉලෙක්ට්‍රොනික් රීඩර්  උපකරණය අපට හඳුන්වා දුන්නේය. එහෙත් තවමත් මුද්‍රිත පොත් සඳහා තිබෙන ඉල්ලු‍මේ අඩු වීමක් පෙන්නුම් නොකරන බව මුද්‍රණ කර්මාන්තයේ නියැළී සිටින්නෝ පවසති. ඇමෙරිකා එක්සත් ජනපදයේ සියයට 90ක් අලෙවි වන්නේ මුද්‍රිත පොත් බව එරට පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පෙන්වා දී ඇත.
පොත් මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කඩදාසි නිපදවීම සඳහා ගස් කැපීමට සිදු වූවත් ඩිජිටල් පොත් කියවීම සඳහා නිපදවනු ලබන ඉලෙක්ට්‍රොනික් රීඩර්  උපකරණය නිපදවීම සඳහා ගස් කැපීමට අවශ්‍යතාවක් මතු නොවන අතර එම උපකරණය මගින් අපට අවශ්‍ය ඕනෑම පොත් සංඛ්‍යාවක් කියවීමට හැකියාව ලැබේ. එහෙත් එම උපකරණය නිපදවීමේ දී පරිසරයට අහිතකර කාබන්ඩයොක්සයිඩ් වායුව කිලෝ ග්‍රෑම් 168ක් මුදා හැරෙන බවත් පොතක් මුද්‍රණය කිරීමේ දී කාබන්ඩයොක්සයිඩ් වායුව පරිසරයට මුදා හැරෙන්නේ කිලෝ ග්‍රෑම් 7.5ක් පමණක් බවත් පරිසර හිතකාමීන් පෙන්වා දී ඇත. ඒ හේතුවෙන් ඉලෙක්ට්‍රොනික් රීඩර්  උපකරණය භාවිත කරන්නකු එම උපකරණය පරිසරයට හිතකාමී අයුරින් භාවිත කිරීමට අවශ්‍ය නම්  එම උපකරණය භාවිත කරමින්  අවම වශයෙන් පොත් 23 ක්වත්  කියවිය යුතු බව පරිසර හිතකාමීන් සඳහන් කර තිබේ.
පොත් මුද්‍රණය කිරීමට අවශ්‍ය කඩදාසි නිපදවීමට වර්තමානයේ ඒ සඳහාම ගස් සිටුවීම සිදුකරන බවත් එම ගස් කැපූ විට ඒ වෙනුවෙන් අලු‍ත් ගස් සිටුවීම සිදු කරන බවත් පොත් මුද්‍රණකරුවන් පෙන්වා දී ඇත. එහෙත් එක් ඉලෙක්ට්‍රොනික් රීඩර්  උපකරණයක් නිපදවීමේ දී ජලය ලීටර් 300ක් පමණ දූෂණය වන බවත් එය එක් පොතක් මුද්‍රණය කිරීමේ දී දූෂණය වන ජලය ප්‍රමාණයට වඩා 40 ගුණයක් බවත් පොත් මුද්‍රණකරුවන් ප්‍රකාශ කර තිබේ.
කොවිඩ් වසංගතයත් සමඟ බොහෝ රටවල් ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින් ඉගැන්වීමේ ක්‍රමවලට යොමු වූවත් ඉන් සිසුන්ට සිදුවූයේ යහපතක් ද එසේත් නැතිනම් අයහපතක් ද යන්න පිළිබඳව විශේෂඥයන් විවිධ මත පළකර තිබේ.


පෙර පාසල් සහ ප්‍රාථමික ශ්‍රේණිවල  ඉගෙනුම ලබන සිසුන්ට ටැබ්ලට් ලබා දීමෙන් එම සිසුන්ට යහපතක් සිදු වී නොමැති බව ස්වීඩන අධ්‍යාපන විශේෂඥයන්ගේ මතය වී ඇත. පෑන සහ පොත භාවිත කරමින් ඉගෙනුම් කටයුතු සිදු කරනවා ද එසේත් නැතිනම් යතුරු පුවරුවක් මාර්ගයෙන් පරිගණයක හෝ ටැබ්ලට් එකක ටයිප් කිරීමෙන් ඉගෙනුම් කටයුතු සිදු කරනවා ද යන්න ඉහළ ශ්‍රේණිවල සිසුන්ට තෝරා ගැනීමක් පමණක් වුවත් ඉන් පෙර පාසල් සහ ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ගේ මූලික ලිවීමේ සහ කියවීමේ හැකියාවන් දුර්වල වී ඇතැයි ස්වීඩන අධ්‍යාපන විශේෂඥයන් ප්‍රකාශ කර තිබේ.
ඒ හේතුවෙන් ඩිජිටල් පන්ති කාමරයෙන් මිදී නැවතත් සාම්ප්‍රදායික ඉගැන්වීමේ ක්‍රමයට සිසුන් යොමු කිරීමට පසුගියදා පටන් ගත් නව පාසල් වාරයත් සමඟ ස්වීඩනයේ ඇතැම් පාසල් කටයුතු කර ඇත. 2017 වසරේ දී ඩිජිටල් පන්ති කාමර සංකල්පය හඳුන්වා දෙමින් සිසුන්ට ටැබ්ලට් සහ පරිගණක ලබාදීමට  ස්වීඩන අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළේය. එම අවස්ථාවේදී පෙර පාසල් සහ ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන සෑම සිසුවෙකුටම ටැබ්ලට් සහ පරිගණක ලබා දීමට කටයුතු කළ අතර එහිදී ලිවීමට පුරුදු වනවා වෙනුවට එම සිසුන් ටැබ්ලට් එක එබීමට පුරුදු වූ බව ස්වීඩන අධ්‍යාපන විශේෂඥයන් පෙන්වා දී ඇත. ඒ හේතුවෙන් වයස අවුරුදු 6ට අඩු සිසුන් සඳහා ඩිජිටල් පන්ති කාමර සංකල්පය අවසන් කිරීමට ස්වීඩන අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.


ස්වීඩනයේ හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් පිළිබඳ සිදුකළ ජාත්‍යන්තර ඇස්තමේන්තුවක දී  2016 වසරේ දී හතර ශ්‍රේණියේ සිසුන්ගේ මූලික ලිවීමේ සහ කියවීමේ හැකියාවන් සඳහා සාමාන්‍යයක් ලෙස ලකුණු 555ක් ලබා දිය හැකි බව සටහන් වී ඇති අතර එය 2021 වසරේදී ලකුණු 544ක් දක්වා අඩු වී තිබේ. ඩිජිටල් මෙවලම් සිසුන්ගේ අධ්‍යාපනික හැකියාවන් වැඩි දියුණු කරනවා වෙනුවට එම හැකියාවන් අඩුකරන බවත් මෙය හොඳ විද්‍යාත්මක සාක්ෂියක් බවත් ස්වීඩන අධ්‍යාපන විශේෂඥයන් ප්‍රකාශ කර ඇත.
ඒ හේතුවෙන් නැවත වරක් පෑන සහ පොත භාවිත කරමින් අකුරු ලිවීමට මෙන්ම තනිවම පොත් කියවීම සඳහා ප්‍රාථමික, පෙර පාසල් සිසුන් හුරු කරවීමට කාලයක් වෙන් කිරීමට නව පාසල් වාරය ආරම්භවීමත් සමඟ ස්වීඩනයේ ඇතැම් පාසල් කටයුතු කර ඇත. එමගින් සිසුන්ගේ මූලික ලිවීමේ සහ කියවීමේ හැකියාවන් වැඩි දියුණු කිරීමට එම පාසල් කටයුතු කර ඇති අතර සිසුන් ටැබ්ලට් භාවිත කරන කාලය, යතුරු පුවරුව භාවිත කිරීමේ හැකියාවන් වර්ධනය කර ගැනීමේ කාලය සහ අන්තර්ජාලය තුළ ගතකරන කාලය එමගින් අවම කර තිබේ. ස්වීඩන අධ්‍යාපන අමාත්‍ය ලොටේ එඩ්හෝම් මහත්මිය පවසා ඇත්තේ සිසුන් නැවතත් සම්ප්‍රදායික පෙළපොත් භාවිතයට යොමු කළ යුතු බවත් සිසුන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියේ දී පෙළ පොත් අත්‍යවශ්‍ය අංගයක් බවත්ය.


සිසුන්ගේ ඉගෙනීමේ දුර්වලතා කොරෝනා වයිරස් වසංගතයේ ප්‍රතිඵලයක් විය හැකි බවත් පමණට වඩා පරිගණක තිරය සමඟ කටයුතු කිරීමෙන් ද දුර්වලතා ඇති විය හැකි බවත් අධ්‍යාපන විශේෂඥයන් ප්‍රකාශ කර ඇත. එම නිසා සිසුන්ට ඩිජිටල් මෙවලම් මගින් දැනුම ලබා ගන්නා ක්‍රමයකට වඩා නැවතත් සම්ප්‍රදායික පෙළ පොත් සහ ගුරුවරයාගේ දක්ෂතාව මත දැනුම ලබා ගන්නා ක්‍රමයක් සිසුන් වෙනුවෙන් සකස් විය යුතු බව අධ්‍යාපන විශේෂඥයන් පෙන්වා දී තිබේ.
කොවිඩ් වසංගතයත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය ලැප්ටොප් මිලියන ගණනක් සිසුන්ට කොවිඩ් අරමුදල් යටතේ ලබා දුන්නත් සියල්ලෝම එයට කැමැත්තක් නොදැක්වීම හේතුවෙන් තවමත් ඇමෙරිකාව මුද්‍රිත පෙළපොත් භාවිත කරන බව අධ්‍යාපන විශේෂඥයන් ප්‍රකාශ කර ඇත.


ස්වීඩනයේ 4 වැනි ශ්‍රේණියේ සිසුන්ගේ මූලික ලිවීමේ සහ කියවීමේ හැකියාව ඉහළ දැමීම සඳහා මෙම වසරේ පෙළපොත් මුද්‍රණය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 64.7ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 2000 ක් පමණ) වෙන් කිරීමට එරට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර තිබේ. එසේම ලබන වසරේ සහ 2025 වසරේ පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා ද එක් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 44.9ක් (ශ්‍රී ලංකා කෝටි 1450 ක් පමණ) වෙන්කර කිරීමට ස්වීඩන අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

 

 

■ විමුක්ති එස්. රුද්‍රිගු

 



අදහස් (0)

ස්වීඩනය පරිගණකයෙන් ආපසු පොතට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31315 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13523 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 938 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site