IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මනෝරත්නයි - මමයි එක බෝඩිමේ - එක ඇඳේ නිදාගත්තේ

ප්‍ර:එදිරිවීර සරච්චන්ද්‍ර ඉස්සෙල්ලම මුණගැහෙන මොහොත ගැන කතා කරමු අපි.

 


පිළිතුර - ඩොක්ටර් සරච්චන්ද්‍ර සප්ත වාර්ෂික නිවාඩු අරගෙන ඇමෙරිකා ගිහින් ඉඳල ආපහු ලංකාවට ඇවිත් ඉඳපු කාලෙ තමයි ඔය සිද්ධිය වුණෙ. ඒක වුණේ හරියට වෙසක් පෝය කාලෙ දවසක. පේරාදෙණිය කැම්පස් එක මැදින් තියෙන පාරේ කැම්පස් ළමයින්ගෙ භක්ති ගීත වැඩසටහන් තිබුණ. ඒ අය එක්ක සරච්චන්ද්‍රත් ආව. එදා තමයි මම ඉස්සෙල්ලම සරච්චන්ද්‍රව හැබැහින් දැක්කෙ. ඔය දවස්වලම ඩොක්ටර් සරච්චන්ද්‍ර අලුතෙන් නාට්‍යයක් පටන්ගන්න යන බවත් ඒකට ගායන හැකියාව තියෙන අය ඉල්ලුම් කරන්න කියලත් දැන්වීමක් කැම්පස් එකේ ගහල තිබුණ. ඒක දැකල මගේ යාළුවො මට කිව්ව ඒකට යන්න කියල. නාට්‍යය ⁣‘පේමතෝ ජායතී සෝකෝ’.


ඉතින් මමත් දවසක් ගියා මේ නාට්‍ය පරීක්ෂණයට. ස්ටුඩන්ට් කොමන් රූම් එකේ තමයි සම්මුඛ පරීක්ෂණය තිබුණෙ. සෑහෙන ළමයි පිරිසක් ඔඩිෂන් එකට ඇවිත් හිටිය. මට කලින් ළමයෙක් අමරදේවගෙ සිංදුවක් කිව්ව. ඒක ටිකක් අවුට් කිව්වෙ, ඒ ළමය සිංදුව ඉවරවුණාට පස්සෙ ඇඟට පතට නොදැනී සරච්චන්ද්‍ර කියනව, ඔව් ඉතිං ඒ සිංදුව ඒ තාලෙට කියන්නත් පුළුවන් කියල. ඒ කතාවට එතන ඉඳපු හැමෝටම හිනා. ඊට පස්සෙ ආව කොළඹ ඉස්කෝලෙකට ගිය ගෑනු ළමයෙක්. එයා සී.ටී. ප්‍රනාන්දු⁣ගෙ සිංදුවක් ඉංග්‍රීසි ඇක්සන්ට් එකෙන් කිව්ව. ඒක ඉවර වුණාම සරච්චන්ද්‍ර කියනව, දැන් ඔය ළමය සිංහල සිංදුවකුත් කියල පෙන්නන්නකො කියල. ඒ විදිහට හරිම විහිළු තහළුවෙන් තමයි සරච්චන්ද්‍ර ඒ පරීක්ෂණය කෙරුවෙ. මගේ වාරෙ ආවම මමත් සිංදුවක් කිව්ව. මම කිව්වේ අමරදේවගෙ සන්නාලියනේ සිංදුව. සරච්චන්ද්‍ර මහත්තය මගේ ගායනය ගැන බොහොම පැහැදුණා. මගේ විස්තර එහෙම අහල නාට්‍ය පුහුණුවීම් පටන්ගන්නකොට දැනුම් දෙන්නං කිව්ව. ටික දවසකින් නාට්‍ය පුහුණුවීම් පටන්ගත්ත. එහෙම තමයි මම සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමට ඇතුළත් වුණේ.


ප්‍ර:ඔබ සිංහබාහු නාට්‍යයේ සිංහබාහු වීම නේද සරච්චන්ද්‍ර නාට්‍ය ඇසුරේ අග්‍රඵලය?


පිළිතුර – ඔව්. ඒක මගේ ජීවිතේ සුවිශේෂ අවස්ථාවක්. මට ඒකට සම්බන්ධවෙන්න ලැබෙන්නෙ 1970දී. සිංහබාහු එකේ පළවෙනි සිංහබාහු චරිතය කෙරුවෙ චාලි ජයවර්ධන. එයා ඩොමී ජයවර්ධනගෙ මල්ලි. පස්සෙ එයා පරිපාලන විභාගෙ පාස්වෙලා අම්පාර පැත්තෙ රාජකාරියට ගිහින්. ඒ පුරප්පාඩුව තියෙද්දි තමයි සරච්චන්ද්‍ර මහත්තය මට කියන්නේ සිංහබාහුගෙ සිංදු ටික බලාගන්න කියල. පළවෙනි සිංහය විදිහට රඟපෑවෙ මාර්ක් ඇන්ටනි ප්‍රනාන්දු. මම එයා හම්බවෙන්න ගිහින් එයත් එක්ක තමයි සිංදු ටික පුහුණුවීම් කෙරුවෙ. එහෙම තමයි මම සිංහබාහු වුණේ. සරච්චන්ද්‍ර මහත්තය සිංහබාහු එකේ  මගේ රඟපෑම ගැන ගොඩක් සතුටු වුණා. 1970 ඉඳල 1996 වෙනකම්ම අවුරුදු විසිපහකට වැඩි කාලයක්  මම සිංහබාහු චරිතය රඟපෑව.


ප්‍ර:හැබැයි ගොඩක් අය පටලවගෙන ඉන්නව නේද ඒ නාට්‍යයේ සිංහයට රඟපෑවෙ ඔබයි කියල.


පිළිතුර – ඔව්. ඕක ගොඩක් අය පටලවගෙන ඉන්න දෙයක්. සමහර වෙලාවට ඉස්කෝලවල විවිධ උත්සවලට ගියහමත් මාව හඳුන්වල දෙන්නෙ සිංහබාහු නාට්‍යයේ සිංහයා කියල. ඒ නාට්‍යයේ ‘සිම්පනි’ එක හම්බවෙන්නෙ සිංහයටනෙ. ඒක නිසා ගොඩක් අයට මතක සිංහය. හැබැයි සමහර අවස්ථාවල මම ඔය සිංහබාහු එකේ ගල්ලෙන බිඳලා සිංදුව ගායනා කරනව.


ප්‍ර:ඇත්තටම නිශ්ශංක දිද්දෙණියටත් සිංහයා වීමේ හීනයක් තිබුණ ද?


පිළිතුර - ඇත්තටම මට හීනයක් තිබුණ සිංහයගෙ චරිතය රඟපාන්න. හැබැයි මොකක්හරි හේතුවක් නිසා මට කවදාවත් සිංහය වෙන්න හම්බවුණෙ නෑ.


ප්‍ර:ඔබ සිංහබාහු වෙද්දි සිංහය වුණෙ කවුරු කවුරු ද?


පිළිතුර - වැඩිම කාලයක් මාත් එක්ක සිංහයගෙ චරිතය රඟපෑවෙ සමන් බොකලවෙල. සමන් පුදුම දක්ෂ නළුවෙක්. හැබැයි පස්සෙ කාලෙ එයා ටිකක් වැඩිපුර මත්පැන්වලට ලොල්වුණා. ඒක නිසා සරච්චන්ද්‍ර සිංහයගෙ චරිතයට ජයශ්‍රී චන්ද්‍රජිත්ව ගත්ත.


ප්‍ර:වෙන මොනවද එදිරිවීර සරච්චන්ද්‍ර එක්ක කරපු වැඩ?


පිළිතුර – ලෝමහංස, රත්තරන්, මහාසාර, කදාවළලු  වගේ කීපයක්ම කෙරුව. ඒ අතරෙ මනමේ, නාට්‍යට සම්බන්ධ වෙන්න ලැබීමත් විශේෂ අවස්ථාවක්. ඒක වුණේ මම සිංහබාහු චරිතය හොඳට කළා කියල ඒ ගැන ගොඩක් අය පැහැදීමෙන් කතා කෙරුව. ඔය අතරෙ මනමේ කුමාරයට රඟපාපු බෙන් සිරිමාන්න මියගිහින්, ඒකට කෙනෙක් නැතුව හිටියෙ. කවුරු හරි ඒ චරිතයට මගේ නම යෝජනා කෙරුවම සරච්චන්ද්‍ර මහත්තය මුලින් කියල තියෙන්නෙ, අයියෝ මනමේ කුමාරය කරන්නේ කොහොමද? දිද්දෙණිය පොඩි ළමයෙක් වගේනේ කියල. ඒ වෙනකොට මට අවුරුදු විසිහතක් විතර. ඒත් මම මෝරල මදි කියල තමයි සරච්චන්ද්‍රගෙ කල්පනාව වෙලා තියෙන්නෙ. ඒක නිසා විජය නන්දසිරි මනමේ කුමාරයට පුහුණු කරවල තියෙනව. ඔය අතරෙ මටත් කිව්ව පුහුණුවෙන්න. අපි දෙන්න මාරුවෙන් මාරුවට මනමේ කුමාරයට රඟපෑව.  


ප්‍ර:සරච්චන්ද්‍ර එක්ක පටන්ගත්ත ප්‍රසිද්ධ වේදිකා ගමන අගනුවරට සේන්දුවීමත් එක්ක තව එක එක දිශාවලට ගියා නේද?


පිළිතුර - මගේ නාට්‍ය ජීවිතය කොටස් හතරකට බෙදන්න පුළුවන්. ඒ ගැමි රඟමඩල, පාසල් කරළිය, විශ්වවිද්‍යාල කරළිය සහ ප්‍රසිද්ධ වේදිකාව කියල. කොළඹට ආවට පස්සෙ ඔබ කියපු විදිහට මට වෙන වෙන දිශාවලට යන්න අවස්ථා ලැබුණ. රංජිත් ධර්මකීර්ති, කේ.බී. හේරත්, ධර්මසිරි බණ්ඩාරනායක, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති වගේ බොහෝ දෙනෙක් එක්ක වැඩ කරන්න ලැබුණ.


ප්‍ර:ඒ අතරින් ඇලපාත මුදලි කියන්නේ තවත් අමරණීය චරිතයක්?


පිළිතුර – ඔව්. රසිකයන්ට ගොඩක් සමීප වෙච්ච චරිතයක් ඒකත්. ඒකට මගපෑදෙන විදිහත් අපූරුයි. ඉස්සර අපි නිතර යන එන තැනක් තමයි සුදර්ශිය. ඔතෙන්ට එනව ඉස්සර ගුවන්විදුලියෙ වැඩ කරපු කට්ටියත්. ඔය අතරෙ දයානන්ද ගුණවර්ධනත් හිටිය. දවසක් දයානන්ද ගුණවර්ධන මට කිව්ව, අලුත් නාට්‍යයක් කරන්න සූදානම්වෙනව, ඒකට සම්බන්ධ වෙන්න කියල. එහෙම තමයි මට ඇලපාත මුදලිගෙ චරිතය ලැබුණේ. දයානන්ද ගුණවර්ධනත් සරච්චන්ද්‍ර මහත්තයගෙ ගෝලයෙක්. දයානන්ද ගුණවර්ධනත් හරි සූර නාට්‍යකරුවෙක්. මට සෑහෙන ගුරුහරුකම් ලැබුණ එයාගෙනුත් ඇලපාත චරිතය හැඩගස්ස ගන්න. ඒකෙ කවි ගායනා ⁣ගොඩක් තියෙනවනෙ. ඒකට මගේ ගායන හැකියාව ⁣ විශාල සහයෝගයක් වුණා. අදටත් මම විවිධ අවස්ථාවල ඇලපාත මුදලිගෙ කවි ගායනා කරනව.


ප්‍ර:ඔබට සෑහෙන මිත්‍ර සමාගමක ඇසුරක් ලැබුණනෙ. ඔබේ බොහොම බඩ බැඳගත්ත මිත්‍රයෙක් නේද මනෝරත්න එහෙම, කතා එහෙම ඇති නේද දෙන්නගෙ?


පිළිතුර - මගේ මිත්‍ර ඇසුරේ බොහෝ දෙනෙක් හිටිය. ඒ අතර මගේ ළඟින්ම හිටිය මිත්‍රයෙක් තමයි ජයලත් මනෝරත්න. මනෝ පේරාදෙණියෙදි හම්බවෙන්නෙ. මට වඩා අවුරුද්දක් සීනියර් මනෝ. හැබැයි මට වඩා වයසින් අවුරුද්දක් බාලයි. මනෝ පොරමඬුල්ල ඉස්කෝලෙන් ආවෙ. මම ගන්කන්ද ඉස්කෝලෙන් ආවෙ. අපි දෙන්න විශ්වවිද්‍යාලයෙදි තරග කෙරුව සිංහල සංගමේ ලේකම් තනතුරට. ඒකෙදි මනෝ දිනුව. පස්සෙ අපි එකතුවෙලා වැඩ කෙරුව. ඊට පස්සෙ අපි දෙන්නම සරච්චන්ද්‍රගෙ නාට්‍යවල එකට රඟපෑව. ඔය අතරෙ මම රස්සාවක් හම්බවෙලා කොළඹ එනව. මනෝ ලිපිකරු රස්සාවක් හම්බවෙලා නුවරඑළියෙ වැඩ කෙරුවෙ.


හෙන්රි ජයසේන මකරා නාට්‍ය පුහුණුවීම් කරනව ඒ කාලෙ. හෙන්රි ජයසේන මමත් ඒකට තෝරගෙන තිබුණ. ඔහොම ඉන්නකොට දවසක් අපි ගියා නුවරඑළියෙ සිංහබාහු පෙන්නන්න. ඒක බලන්න මනෝරත්නත් ඇවිත් හිටිය. මම ඒ වෙලාවෙ මනෝට කිව්ව, හෙන්රි ජයසේන මහත්තය මකරා කියල නාට්‍යයක් පුහුණුවීම් කරනව, උඹත් වරෙං, ඒකට සම්බන්ධවෙන්න පුළුවන් කියල. මනෝ කොළඹ ඇවිත් නැවතුණෙ නුගේගොඩ එදිරිවීර මාවතේ මම හිටපු බෝඩිමේමයි. අපි දෙන්න එක ඇඳේ නිදාගත්තෙ තව ඇඳක් දාගන්නකම්. මනෝ ගැන රස කතා සෑහෙන තියෙනව. දන්නවනෙ ඉතිං මනෝගෙ වැඩ. ඒව ගැන වෙනම පොතක් ලියන්න පුළුවන්.


ඔය මිත්‍ර සමාගමේ හිටිය තව ගොඩක් අය. කේ.බී. හේරත්, අජිත් ජිනදාස, බුද්ධදාස ගලප්පත්ති වගේ තව බොහෝ පිරිසක් හිටිය. මගේ විවාහය සිද්ධ වෙන්නෙත් ඔය මිත්‍රයො නිසා තමයි.


ප්‍ර: මොකද්ද ඒ කතාව? කොහොමද ඒක වෙන්නෙ?


පිළිතුර - ලූෂන් බුලත්සිංහලත් මගේ හොඳ යාළුවෙක් ඒ කාලෙ ඉඳල. ලූෂනුත් පේරාදෙණියෙ වැඩ කෙරුවෙ එතකොට. අපි බෝඩ්වෙලත් හිටිය එක බෝඩිමක ගැටඹෙ පංසල කිට්ටුව. ඔය බෝඩිමට ලූෂන් හම්බවෙන්න නිතරම වගේ එනව නවනන්දන විජේසිංහ. ඔය දවස්වල ලූෂන්ගෙ ප්‍රේම සම්බන්ධයක් කැඩිල ටිකක් කනස්සල්ලෙන් හිටියෙ. නවනන්දන දවසක් ඇවිත් කිව්ව කොළඹ ඉන්නව ගෑනු ළමයෙක්, ලූෂන්ට හරියයි කියල. එතකොට එයා ඉස්කෝලේ යන ළමයෙක්ලු. ලූෂන් කොහොමහරි මේකට කැමති වුණේ නෑ. ඔය වෙද්දී මගෙත් කැම්පස් එකේ ගෑනු ළමයෙක් එක්ක තිබුණ ප්‍රේම සම්බන්ධයක් කැඩිල හිටියෙ. ඔය අතරෙ දවසක් කොළඹ නව රඟහලේ සිංහබාහු පෙන්නන්න අපි ආව දවස් කීපෙකට. ඒකට අපි එක්ක ලූෂන්ලත් ආවා. දවසක් නවනන්දනලත් ආවා. ඒ ආපු දවසක මම නවනන්දනට කිව්ව අර ලූෂන්ට සෙට් කරන්න හදපු ගෑනු ළමයව බලන්න මම කැමතියි කියල. එහෙනං යමු කියල කට්ටියම ඒ ගෙදර ගියා. එතකොට ඒ ළමයට අවුරුදු පහළොවයි. කොහොමහරි දෙන්නට දෙන්න කැමතිවෙලා අවුරුදු පහක් හයක් ආශ්‍රය කරල 1979 අපි දෙන්න විවාහ වුණා. මට ගොඩක් දේවල් ලැබෙන්නෙ වේදිකාව නිසා තමයි.
නිමි

 

 

■ ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

මනෝරත්නයි - මමයි එක බෝඩිමේ - එක ඇඳේ නිදාගත්තේ

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3767 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 43 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1475 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 458 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 275 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 353 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1740 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1575 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site