IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


කිසිවක් පහසු නැත

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ලබන සතියේ ඉරිදා එනම් ඔක්තෝබර් 17 වැනිදා ඇරඹෙන්නේ සුදුසුකම් ලැබීමේ වටයෙනි. වෙනදා නම් මෙවැනි වටයක් ගැන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වැඩි තැකීමක් නොකරන්නේ ශ්‍රී ලංකාව නිරන්තරයෙන් ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබන නිසාය. එහෙත් විවිධ වූ හේතූන් මත සහ අනෙක් කණ්ඩායම්වල දක්ෂතාව මත ශ්‍රී ලංකාව සුදුසුකම් වැටීමේ වටයකට වැටී තිබේ. පසුගිය කාලයේම අප ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමට කුමක් වූයේද යන්න ගැන නොයෙක් ආකාරයේ විග්‍රහයන් හි යෙදුනෙමු. ඒ සියල්ල අවසානයේ කණ්ඩායමක් නම් වී ඇති අතර ඔවුහු දැන් තරගාවලියට සහභාගී වීම සඳහා සූදානමින් සිටිති. දැන් අපි සියල්ල අමතක කරමු. ලෝක කුසලාන තරගාවලියට යන කණ්ඩාම සිටින්නේ කුමන අගයක වුවද එම කණ්ඩායමේ අභිප්‍රාය ලෝක කුසලානය දිනා ගැනීමයි. රසිකයන්ගේ අභිප්‍රායද ලෝක කුසලානයක් සමග කණ්ඩායම පැමිණීමයි. එහෙයින් අප ඒ අභිප්‍රාය ඇතිව යථාර්ථය තේරුම් ගෙන ඉදිරිය ගැන හිතමු.

 


ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය සමග ක්‍රීඩා කරන තරග දෙකින් එකක් අවසානයේ ඔබ මේ සටහන කියවනු ඇත. බ්‍රහස්පතින්දා පැවති තරගයත් සෙනරසුරාදා පැවැත්වෙන තරගයත් අනුව ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන අනාගතය කෙසේ වේදැයි අපට යම් තීරණයක් ගත හැකිය. කෙසේ වුවද සුදුසුකම් ලැබීමේ වටයේ දී ශ්‍රී ලංකාව සමග එක්වන මහේල ජයවර්ධනගේ අදහස් සහ සැලසුම් ශ්‍රී ලංකාව පැත්තෙන් ඉතා වැදගත් වනු ඇත. අයි.පී.එල් තරගාවලියට එක්ව සිටීම නිසා මේ තණතිලි ගැන පැහැදිලි අදහසක් මහේලට තිබෙන බව පැහැදිලිය. මහේලගේ අදහස්වලට මිකී ආතර් ගරු කළහොත් ශ්‍රී ලංකාවට යමක් කළ හැකිය. එසේ නොවී ආතර් තමන්ගේ ගැටීමේ න්‍යාය ඉදිරියට ගතහොත් ප්‍රශ්නය බැරූරැම්ය. මේ නිසා පළමුව ලියා තැබිය යුත්තේ මහේල විශ්වකර්මයෙකු ලෙස නොසිතන ලෙසයි. ඔහුගේ ක්‍රිකට් දැනුම ඉතාම ඉහළය. එහෙත් ඔහුගේ දැනුමෙන් සකසන ක්‍රියාවලිය පිටියේ දී ක්‍රියාත්මක කරන ක්‍රීඩකයන් වර්තමානයේ අනෙක් බොහෝ විස්සයි20 ක්‍රීඩකයින් මෙන් පරිපූර්ණ නැත. මේ නිසා අවාසනාවකට ප්‍රතිඵල අවුල් විය හැකිය.


ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ වටයේ දී ක්‍රීඩා කරන්නේ නැමීබියාව, නෙදර්ලන්තය සහ අයර්ලන්තය සමගය. මේ කාණ්ඩායම් අතර දුර්වලම කණ්ඩායම ලෙස පෙනෙන්නේ නැමීබියාවයි. දකුණු අප්‍රිකාවට ක්‍රීඩා කළ ලොව පුරා විස්සයි20 ෆ්‍රැන්චයිස් ක්‍රිකට් විශේෂඥයෙකු වන ඩේවිඩ් වීසා මෙවර නැමීබියාව නියෝජනය කරයි. එහෙත් මේ කණ්ඩායමේ නායක ගෙහාර්ඩ් එරැස්මස් පිතිකරුවෙකු ලෙස වඩාත් සංවිධානාත්මක ක්‍රීඩකයාය. විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ වීරයා වූයේද ඔහුය. මේ නිසා මේ තණතිලි ගැන මෙන්ම තරගකාරී තරගාවලියක හැසිරීම ගැනද ඔහුට අදහසක් තිබේ. එසේම වමතින් මඳවේග පන්දු යවන යාන් ෆ්‍රිලින්ක් ද හොඳ ක්‍රීඩයෙකි. 2019 දී පළමුවරට විස්සයි20 ජාත්‍යන්තර තරග වරම් ලබන නැමීබියාව පසුගිය කාලයේ දී ප්‍රධාන කණ්ඩායමක් ලෙස එක්සත් අරාබි එම්ර් රාජ්‍යය පරදවා ජයග්‍රහණයක් හිමිකරගෙන ඇත. එසේම ඕමානය, ස්කොට්ලන්තය හා කෙන්යාවට එරෙහිව ඔවුන් ජයග්‍රහණ වාර්තා කර තිබේ. ඔක්තෝබර් 18 වැනිදා නැමීබියාව සමග පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාවට කිසිසේත්ම අපහසු තරගයක් නොවේ. එය ජග්‍රහණය ලියා ඇති තරගයකි. එහෙයින් මේ තරගය පරාජය වීමක් ගැන ශ්‍රී ලංකාව කිසිසේත්ම සිතිය යුතු නොවේ.


සුදුසුකම් ලැබීමේ වටයේ දී ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවන අසීරුම තරගයක් විය හැක්කේ අයර්ලන්තයට එරෙහි තරගයයි. ඔක්තෝබර් 20 දා තරගය පැවැත්වෙයි. මේ තරගය ශ්‍රී ලංකාවට බේරා ගැනීමට සිදුවෙන්නේම දඟ පන්දුවෙනි. එහෙත් අප පෙර සතියකදීත් කියූවා මෙන් තමන්ගේ දිනයේ දී අයර්ලන්තය පාලනය කළ නොහැකි කණ්ඩායමකි. පෝල් ස්ටර්ලින්, කෙවින් ඔ බ්‍රයන් ආරම්භක පිතිකරුවන් ලෙස යොදා ගෙන නායක ඇන්ඩි බැල්බනි අංක තුන ක්‍රීඩා කිරීම ඔවුන්ගේ ක්‍රමයයි. කණ්ඩායමේ හොඳම පිතිකරුවන් තිදෙනා මොවුන්ය. මැදපෙළ හැරී ටෙක්ටර් ද හොඳ පිතිකරුවෙකි. සාමාන්‍යයෙන් තරගයක් හරවා ගන්නට හැක්කේ මොවුන් සිව් දෙනාගෙනි. මෙහිදී ඔවුන්ට ප්‍රශ්නයක් වෙන්නේ බැල්බනි සහ ‍ටෙක්ටර් යන දෙදෙනාම පිටියේ තරමක් කාලය ගෙන තැම්පත් වීමෙන් පසුව විශාල පහරවල් කරා යෑමයි. මෙය ශ්‍රී ලංකාව පැත්තෙන් වාසියකි. විස්සයි20 තරගවල වර්තමාන රිද්මය අනුව මොවුහු එතරම් හොඳ හඹා යන්නෝ නොවෙති. එහෙයින් අයර්ලන්තයට එරෙහි තරගයේ පළමුව පහරදිය හැකි නම් තරගයෙන් සෑහෙන ප්‍රමාණයක් ජයගැනීමක් වෙයි. එහෙත් පළමුව පන්දුවට පහර දුන්නා කියන්නේ ලකුණු 100 ක් රැස්කිරීම නොවන බවද ශ්‍රී ලංකා කණ්ඩායම දන්නවා ඇත.


ලෝක කුසලානය සුදුසුකම් ලැබීමේ වටයට සුදුසුකම් ලැබීම සඳහා 2019 දී පැවැත් වූ තරගාවලියේ ශූරයන් වූයේ නෙදර්ලන්තයයි. මෙහිදී ඔවුන් ඉතාම හොඳින් දඟ පන්දු යවන්නන්ට මුහුණ දුන් ආකාරයක් දැක ගත හැකි විය. අවසන් වතාවට නේපාලයේ දී නේපාල තණතිලිවලදී ද ඔවුහු ඉතාම හොඳින් දඟ පන්දු යවන්නන්ට මුහුණ දුන්හ. මේ නිසා නෙදර්ලන්තය මට්ටු කිරීම ලෙහෙසි නැත. බෙන් කූපර් ඔවුන්ගේ ප්‍රධාන පිතිකරුවාවෙයි. ඔහු සමග බාස් ඩෙ ලේඩෙ මැද පෙළ ස්ථාවර කරයි. එහෙත් මෙවර තරගාවලියේ දී අත්දැකීම් බහුල රයන් ටෙන් ඩොෂාට (ඩෙස්කාට) මැද පෙළට එක්වීමට ඇති ඉඩ වැඩිය. නෙදර්ලන්තය බිහිකළ හොදම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අවිවාදයෙන් පිළගත හැකි ටෙන්ඩොෂාට (ඩෙස්කාට) 41 වැනි වියේ පසු වුවද ඔහු තවමත් හොඳ විස්සයි20 ක්‍රීඩකයෙකි. ඒ සමගම කලක් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධානම ක්‍රීඩකයෙකුව සිට පසුව නෙදර්ලන්තයට ක්‍රීඩා කිරීම ඇරඹූ රූලොෆ් වන් ඩෙ මෙර්ව ද මෙවර සංචිතයට නම් කර තිබේ. ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී කඩුලු 14 ක් දවා ගැනීමට ඔහු සමත් විය. එසේම කණ්ඩායමේ නායක සහ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන පීටර් සීලර් මැද පෙළ පිතිකරුවෙකු ලෙසද දඟ පන්දු යවන්නෙකු ලෙසද ඉතා හොඳ රිද්මයක සිටියි. වේග පන්දු යවන පෝල් වන් මේකරන් සහ ආරම්භක පිතිකරු මැක්ස් ඔඩවුඩ් යන දෙදෙනා වර්තමාන නෙදර්ලන්ත කණ්ඩායමේ හොඳම ක්‍රීඩකයෝ වෙති. මේ නිසා අත්දැකීම් සහ තරුණ ශක්තිය කැටිවුණ හොඳම කණ්ඩායමක් නෙදර්ලන්තයට වෙයි. එහෙයින් සුදුසුකම් ලැබීමේ වටයේ අසීරුම තරගයට ඔක්තෝබර් 22 වැනිදා ශ්‍රී ලංකාව මුහුණදෙයි. මේ තරගයට ගමන් කිරීමේ දී අයර්ලන්තයට එරෙහි තරගය අනිවාර්යයෙන්ම ජයගෙන ගමන් කළ යුතුය. එසේම දඟ පන්දු යවන්නන් ගැන පමණක් විශ්වාසය තබා ක්‍රීඩා කිරීමටද මේ තරගයේ දී නොහැකිය. මේ නිසා මඳ වේග පන්දු යවන්නන් ගේ දායකත්වය අවශ්‍යය. මේ තරගයේ දී දසුන් ශානකගේ පන්දු යැවීම වාසියක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. ශ්‍රී ලංකාවට වාසියකට ඇත්තේ ශ්‍රී ලංකාව හමුවේ නෙදර්ලන්තය දිගින් දිගටම පරාජය ලැබීම නිසා ඇති තැති ගැන්මයි. එහෙත් නෙදර්ලන්තය මේ තරගයට එන්නේ ශ්‍රී ලංකාව දුර්වලවී ඇතැයි පූර්ව නිගමනයකිනි. එහෙයින් සුදුසුකම් ලැබීමේ වටයේ තියුණුම තරගය මෙය කර ගැනීමට නෙදර්ලන්තය උත්සාහ ගනු ඇත. ලෙහෙසි නැත. එහෙත් අපේ දැඩි විශ්වාසය සහ අයි.සී.සී. තරගාවලිහිදී ශ්‍රී ලංකාවේ හැසිරීම බලන විට මේ අසීරු තරග දෙකම ජයගෙන විස්සයි20 ලෝක කුසලානයේ ප්‍රධාන තරගාවලියේ ඒ කාණ්ඩයට එක්වීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ඇති බවයි. අසීරුම තත්ත්ව යටතේ සුදුසුකම් ලැබීමේ වටයේ ඒ කාණ්ඩයේ දෙවැනියා වී ප්‍රධාන තරගාවලියේ බී කාණ්ඩයට හෝ එක්වීමට ශ්‍රී ලංකාවට පැහැදිලි අවස්ථාවක් තිබේ.

එය මේ කණ්ඩායමේ හැකියාව ප්‍රධාන කොට කරන විනිශ්චයක් විශේෂඥ සහායේ ඇති හැකියාව, ඉතිහාසය, රිද්මය මේ සියල්ල හැසිරීමට ඉඩ ඇති ආකාරය අනුව කරන පූර්ව නිගමනයකි. විස්සයි20 දී පූර්ව නිගමන නිතර නිවැරදි වන්නේ නැත. එහෙත් මේ කඩ ඉම මේ ආකාරයට පනින්නට බැරි නම් ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම ගැන කතා කිරීමෙන් වැඩක් නැත. 2016 න් පසුව විස්සයි20 නාඩගම අවසානයේ ​ෙබරේ පලු‍වක් නොව බෙර ගෙඩියත් නැත කියා එවිට අපට කියන්නට සිදුවනු ඇත. එහෙත් ශ්‍රී ලංකාව සහ ක්‍රිකට් යන සම්බන්ධය බැලූ විට ශ්‍රී ලංකා කණ්ඩායම මේ කඩඉම පනිනු ඇතැයි අපේ විශ්වාසයි. ප්‍රාර්ථනයයි.

 

 

කාංචන දසනායක

 



අදහස් (1)

කිසිවක් පහසු නැත

GEMUNU Thursday, 14 October 2021 04:21 PM

ජයවේවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 351 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2153 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site