IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ඔලිම්පික් කමිටුවේ විධායක සභාව අධිකරණයට

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්  හා මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා යන මහත්වරු වැඩ සටහනකට සහභාගිවී සිටි අයුරු


ජාතික ඔලිම්පික් කමිටුවේ  වෙන කවදාවත් ඇති නොවුණු තරමේ පරිපාලන අර්බුදය මේ වන විට කොළඹ දිසා අධිකරණයේ නඩු දෙකක් ගොනු කිරීමට තුඩුදී තිබේ.මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතාගේ ධූරයේ කටයුතු වළක්වාලන ලෙස ඉල්ලමින් ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ සියලුම සාමාජිකයන් වග උත්තරකරුවන් කරමින්  පැවරූ මෙම නඩු දෙකට එරෙහිව දෙසැම්බර් 5 වැනිදාට විරෝධතා බදින ලෙසත් එහිදී ඔවුන්ට නියම කර තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ බහුතරයකගේ ඉල්ලිමකට ඉඩ දෙමින් මෙම ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සදහා දෙසැම්බර් 13  වැනිදා හදිසි විශේෂ මහ සභා රැස්වීමක් කැදවා තිබේ. එහිදී හැකි ඉක්මනින් නිලවරණයක් (2025 -29) කැඳවීම සදහා යෝජනාවක් සම්මත කර ගැනීමට ජාතික ක්‍රීඩා සංගම් රැසක්ම සූදානම්ව  සිටින බවත් වාර්තා වේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් අර්බුදකාරී වාතාවරණය එහි කටයුතු ඉදිරියේදී මුළුමනින්ම ඇන හිටීමේ තත්වයක් උදා කරමින් පවතින බව එහි සාමාජික ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකගේ මතය වී තිබේ.

විශේෂයෙන්ම එයින් කමිටුවේ දීර්ඝකාළීන  ක්‍රීඩා ප්‍රවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති සදහා එල්ල වී ඇත්තේ ඉතා අහිතකර තත්ත්වයක් බවද ඔවුහු පෙන්වා දෙති.ආසන්නයේ යෙදෙන ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා  උලෙළ  සහභාගිත්වයේ පූර්ව සූදානමට එයින් දැඩි බලපෑමක් එල්ලවෙමින් තිබෙන බවත් පැවැසේ.

ආසියානු ක්‍රීඩා උළෙල (2026 - ආචි - නගෝයා), පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ (2026 - ග්ලාස්ගෝව්), ඔලිම්පික් උලෙළ (2028 - ලොස් ඇන්ජලීස්) එසේ ශ්‍රී ලංකාවට වඩාත් ආසන්නයේ යෙදෙන ප්‍රධානතම ජාත්‍යන්තර තරගාවලි ලෙස සදහන් කළ හැකිය.ජාතික ඔලිම්පික් කමිටුවේ පැන නැගී තිබෙන අභ්‍යන්තර අර්බුදය  ඉහත සදහන් ජාත්‍යන්තර ක්‍රීඩා තරග සහභාගිත්වයේ ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන වැඩසටහන් ප්‍රවර්ධනයට අහිතකර තත්ත්වයක් පැන නැගෙමින් තිබෙන බවට ජාතික ක්‍රීඩා සංගම් චෝදනා කරති.

මේ අන්දමට මීට ඉහත අවස්ථා කීපයකදීත් ජාතික ඔලිම්පික් කමිටුවේ  අභ්‍යන්තර පරිපාලන අර්බුද පැන නැගී තිබුණත් මෙතරම් ඉවවහා ගිය අවස්ථාවක් නොමැති තරම්ය. මීට ඉහතදී ඔලිම්පික් කමිටුවේ නිලවරණය කැඳවූ බොහෝ අවස්ථාවලදී ඊට තරග වැදුණු නිලධාරීන්ගේ පාර්ශ්ව අතර බෙදීම් ඇතිවුණත් ඔලිම්පික් කමිටුවේ එකම විධායක සභාවේ සභාපති හා මහ ලේකම් අතර මෙවැනි ප්‍රසිද්ධියේ බෙදීමක් දක්නට නොලැබුණු බව ජාතික ක්‍රීඩා සංගම් පවසති.

වසර 2013 දී එවකට හේමසිරි ප්‍රනාන්දු මහතා සභාපති ධූරය දරමින් සිටියදී නිලවරණය අරභයා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ ඇතිවූ බෙදීමක් අර්බුදයකට තුඩු දුන්නේය. එය අවසන් වූයේ නිලවරණයේදී හේමසිරි ප්‍රනාන්දු  මහතා යළිත් කමිටුවේ බලය තහවුරු කර ගැනීමෙනි.

කෙසේවුවත් වත්මන් සභාපති සුරේෂ්  සුබ්‍රමනියම් මහතා ඔලිම්පික්  කමිටුවට කැදවා ගෙන ආ බව කියන මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතාට එරෙහිව ඔහු නැගී සිටීම බොහෝ දෙනෙකුට විමතියට කරුණකි.

ඒ ගැන සුබ්‍රමනියම් මහතාගෙන් ඇසූ විට ප්‍රකාශ කර ඇත්තේ ඔලිම්පික් කමිටුවෙන් හොරුන් පලවා හැරීමේ මෙහෙයුමක් තමන් විසින් දියත් කිරීමත් සමග ඒ හොරුන් තමන්ට එරෙහිව ක්‍රියාත්මක වී තිබෙන බවයි.ඔලිම්පික් කමිටුවේ වත්මන් අර්බුදයට හේතුව එය බවත් ඔහු එහිදී පවසති.

මේ අතර ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු ලේකම් නලින් අධිකාරිආරච්චි හා ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් (අත්පන්දු) සම්මේලනයේ වත්මන් සභාපති උපාලි රාජපක්ෂ යන මහත්වරුන් පැමිණිලිකරුවන් වෙමින් කොළඹ දිසා අධිකරණයේ පවරා ඇති ඉහත නඩු  දෙසැම්බර් 5 වැනිදා යළි සලකා  බැලෙන අතර එයින් දෙසැම්බර් 13 වැනිදා කැඳවීමට යෝජිත ජාතික ඔලිම්පික් කමිටුවේ  විශේෂ මහ රැස්වීමද අභියෝගයට ලක් කර ඇති බැවින් කමිටුවේ ඉදිරි කටයුතු පවත්වාගැනීම පිළිබඳවත් විශ්වාසය හීන වෙමින් පවතී.
මෙහිදී කමිටුවේ විධායක සභාවට එරෙහිව නඩු පැවරීමකදී ඒ වෙනුවෙන්  නීතිඥ හා නඩු ගාස්තු දැරෙන්නේ ඔලිම්පික් කමිටුවේ අරමුදල් වලිනි.එවැනි තත්ත්වයක් තුළදී රටේ ක්‍රීඩාව හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් කමිටුව වෙන් කර ඇති  මුදල් මිලියන ගණනින් නිලධාරීන්ගේ නඩු ගාස්‍තු සඳහා ගෙවීමට සිදුවීම අභාග්‍ය කි.

මෙසේ ගරු සේවයකට පැමිණි ක්‍රීඩා පරිපාලන නිලධාරීන් ක්‍රීඩාවේ නාමයෙන් ගැටුම් ඇති කර ගනිමින් උසාවි ගානේ රස්තියාදුවීම තෙවැනි ලෝකයේ රටවල දක්නට ලැබෙන විරල ලක්ෂණයකි.

එසේ හෙයින් එම රටවල ක්‍රීඩාවේ නොදියුණුකමට එයද හේතුවක් වී තිබේ.

2022 අග භාගයේ සිට මැක්ෂි - සුබ්‍රමනියම් ගැටුම දලු ලියලා වැඩෙමින් තිබූ බව පැවසේ.ඒ හේතුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කළ ජාත්‍යන්තර සමුළු වලදී පවා ශ්‍රී ලංකාවේ මෙම නිලධාරීන් දෙදෙනාගේ බෙදීම ප්‍රකට වූ බව සදහන් වේ.

ප්‍රධානීන් දෙදෙනාගේ බෙදීමෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ මූලස්ථානයේ කාර්‍ය්‍ය මණ්ඩලය වඩාත් අපහසුතාවයට පත්ව සිටින තවත් පාර්ශ්වයකි. ඉහත ප්‍රධානීන් දෙදෙනාගේම නියෝග හා උපදෙස් ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට එහිදී සිදුව තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුව හා එහි වත්මන් පරිපාලන අර්බුදය සම්බන්ධයෙන් නව ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාට නිසි අවබෝධයක් තිබේ ද යන්න මෙතෙක් පැහැදිලි නැත.ඔහුගේ පත්වීම සිදුව තවමත් සති දෙකක් නැත.ඒ නිසා ඒ සදහා නිසි කාලයක් යෙදවීමට ඔහුට අවස්ථාව ලැබුණේ යයි සිතිය නොහැකිය.

එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශයට හෝ ක්‍රීඩා ඇමැතිවරයාට ජාතික ඔලිම්පික් කමිටුවට මැදිහත්වීම් සදහා ලැබෙන අවස්ථාව අල්පය.මීට පෙර අවස්ථාවකදී  වසර 2013 දී පමණ එවකට ක්‍රීඩා ඇමැති ධූරය දැරූ මහින්දානන්ද අළුත්ගමගේ  මහතා ක්‍රීඩා පනත යොදා ගනිමින් ජාතික ඔලිම්පික් කමිටුවට බලපෑම් කළ බවට චෝදනා කරමින් ඔහු ලූසාන් නුවර පිහිටි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මහ ගෙදරට ( මූලස්ථානයට) ,ගෙන්වා ඔහුට තරවටු කළ සිදුවීම මෙහිලා සිහිපත් වේ. 

එම සිදුවීමේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එවකට ලිපියක් යොමු කළ ජාත්‍යන්තර  ඔලිම්පික් කමිටුවේ ජාතික ඔලිම්පික් කමිටු සබඳතා අධ්‍යක්ෂ පියරේ මීරෝ මහතා හා ආසියානු ඔලිම්පික් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හා තාක්ෂණික අධ්‍යක්ෂ (එවකට) හුසේන් අල් මුසලාම් මහතා එහි තැනෙක සදහන් කර තිබුණේ ජාතික ඔලිම්පික් කමිටුව රජය සතු වස්තුවක් නොවන අතර ඒ බව පිළිගෙන කටයුතු කළ යුතුය.

කෙසේවූවත්  මේ වන විට ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ පැන නැගී තිබෙන ප්‍රශ්නය අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව හමුවට ගොස් තිබේ. මෙම  ප්‍රශ්නය තමන්ට මැදිහත්වීමට ඉඩ නොතබා ව්‍යවස්ථානුකූලව විසඳා ගන්නා ලෙස  ඔවුන් මේ වන විටත් ගැටුමට මැදිව සිටින සභාපතිගේ හා මහ ලේකම්ගේ පාර්ශ්වයට උපදෙස් ලබාදී තිබේ.


නාමල් පතිරගේ


 



අදහස් (0)

ඔලිම්පික් කමිටුවේ විධායක සභාව අධිකරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31013 37


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13145 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10941 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 12 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site