
(යොහාන් භාසුර)
ගල් අඟුරු නැව් ප්‍රමාදවීම නිසා ශ්‍රී ලංකාව බලශක්ති හිඟයකට මුහුණ දීමේ අවදානමක් ඇතිවීම හේතුවෙන් කැඳවූ හදිසි ස්ථානීය ගල් අගුරු ටෙන්ඩරය බාල ගල්අගුරු ප්‍රමාදවී සැපයූයේ යැයි චෝදනා එල්ල වී ඇති සමාගමටම පිරිනැමීම පිළිබඳව දේශපාලඥයන් සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් චෝදනා කරති.
අදාල සමාගම ගල් අගුරු සැපයීම ප්‍රමාද වීම නිසා මාර්තු 11 වැනිදා ගල් අඟුරු නැව් පහක් සඳහා හදිසි ස්ථානීය ටෙන්ඩරයක් කැඳවූ අතර එම ටෙන්ඩරය සඳහා සමාගම් හතරක් ඉල්ලුම් කර තිබූ බවත් එම ටෙන්ඩරයට දැනට ගල් අගුරු සපයන ‘ට්‍රයිඩෙන්ට් කෙම්ෆර්’ නැමැති ඉන්දීය සමාගම ද මිල ගණන් ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ට ටෙන්ඩරය පිරිනැමීමට කටයුතු කර ඇති බවත් චෝදනාකරන්නෝ පවසති.
අදාල සමාගම බාල ගල් අඟුරු සැපයීම සහ එම සමාගම නියමිත වේලාවට ගල් අඟුරු සැපයීමට අපොහොසත් වීම නිසා එම ස්ථානීය ටෙන්ඩර් කැඳවීමකට සිදුවූ බව කියන දේශපාලඥයෝ එම සමාගමටම තවත් නැව් පහක් සඳහා ටෙන්ඩරය පිරිනැමීම සදාචාරවත් නොවන බව ද සඳහන් කරති.
ශ්‍රී ලංකාව මීට පෙර ගල් අඟුරුවල ප්‍රමිතිය නිර්ණය කිරීමේදී ‘ප්‍රතික්ෂේප සීමාවේ අගය’ නම් අගය හෙවත් ගල් අගුරු කිලෝග්‍රෑමයකින් කිලෝකැලරි 5900ට වඩා අඩු ශක්තියක් ජනනය වන ගල් අඟුරු ප්‍රතික්ෂේප කරන බවත් අළු ප්‍රතිශතය සියයට 16 කට වැඩි ගල් අඟුරු ප්‍රතික්ෂේප කළ ද ආණ්ඩුව මෙවර ඒ ප්‍රතික්ෂේපිත අගයට වඩා අඩු ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු භාරගත් බවත් ඔවුහු චෝදනා කරති.
එම චෝදනාව පිළිබඳව ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් නැමැති ඉන්දීය සමාගමේ දේශීය නියෝජිතයාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ අදාල ස්ථානීය ටෙන්ඩරයට එම සමාගම ද මිල ගණන් ඉදිරිපත් කළ අතර එහිදී අඩුම මිල එම සමාගම ඉදිරිපත් කර තිබීම නිසා ටෙන්ඩරය හිමිවූ බවත් එම සමාගම ගල් අගුරු මෙටි්‍රක්ටොන් එකක් සඳහා ඩොලර් 121 ක මිලක් ඉදිරිපත් කළ ද සෙසු සමාගම් දෙක ඩොලර් 142 ක් සහ 174 ක් යොමුකර තිබූ බවයි.
හදිසි ස්ථානීය ටෙන්ඩරය ද තම සමාගමටම ලැබීම නිසා ලංකා ගල් අගුරු සමාගම සහ ඉන්දීය සමාගම අතර පැවැති සාකච්ඡාවකින් පසුව අදාල හදිසි ස්ථානීය ටෙන්ඩරය අහෝසි කර පෙර ටෙන්ඩරයේ පරිදි එම නැව් පහ ද මෙටි්‍රක්ටොන් එකක් ඩොලර් 98.50 කටම සැපයීමට එකඟවූ බව කී එම නියෝජිතයා ගල් අගුරු මෙටි්‍රක්ටොන් එකක මිල ඩොලර් 121 සිට ඩොලර් 98.50 දක්වා අඩු කිරීමෙන් එක නැවකින් රජයට ඩොලර් මිලියන 13 ක් හෙවත් ඩොලර් 13,650,000 කට අධික ලාභයක් ලැබෙන බව ද සඳහන් කළේය.
මෙම සිද්ධිය පිළිබඳව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ මෙම ටෙන්ඩරයට බලශක්ති අමාත්‍යංශය සම්බන්ධ නොවන බවත් ඒ පිළිබඳව ලංකා ගල් අගුරු සමාගමෙන් විමසිය යුතු බවත්ය.
ලංකා ගල් අගුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතාගෙන් මේ පිළිබඳව විමසීමට ඒ මහතාගේ ජංගම දුරකථන අංකයට ඇමතව ද ප්‍රතිචාර නොදැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd